20121230

දරුවන් අම්මලාගෙ හඬට ආස ඇයි.?

     
 කුඩා දරුවෙකුට හෝ
සුරතල් බලුපැටියෙකුට
කුසගිනි වෙයි.

  කුසගින්න නිසා හඬයි.

ඒ හඬන හඬින්
සිත කම්පා වුණ කාන්තාවක්
"ඇයි, පැටියෝ," කියාගෙන පැමිණ
කුසගින්න නිවන්නට කටයුතු කරන්නීය.



මෙය නැවත නැවත සිදුවන විට
ළදරු සිත මේ රටාවට හුරු වෙයි.

කුසගින්න නැති වෙලාවක වුවද
"පැටියෝ" යන වචනය
සිරුර තුළ ප්‍රිය ජනක වේදනා
උපදවන වචනයක් වෙයි.

"පැටියෝ"කියනු ඇසෙන විටම
ළදරුවාට හෝ බලු පැටියාට
නැති කුසගින්නක් ඇතිවිය හැක.

කුසගින්න ඇති වෙලාවක
ඇසෙන
"පැටියෝ" යන වචනය නිසා
කුසගින්න නොනිවුණත්
සිතට සැනසිල්ලේ සිටිය හැක.

අප අතින් කිසියම් ක්‍රියාවක් සිදුවෙද්දී
ඒ අවස්ථාවෙහි අපට ඇසෙන හඬ මෙන්ම
රූප, රස, සුවඳ හා ස්පර්ෂ නිසා
අප සිතෙහි හා කයෙහි සිදුවෙන වෙනස් කම්
එම අත්දැකීමෙහි කොටසක් ලෙස
අපි විඳින්නෙමු.

ඉන් පසුව එම අත්දැකීමෙන්
ශරීරයෙහි හෝ සිතෙහි සිදු වූ වෙනස්කම් හෝ
එම වෙනස් කම් වලින් කොටසක්
කෘතිමව නිර්මාණය කළොත්
එම අත්දැකීම නිසා
කයෙහි හා සිතෙහි වූ වෙනස්කම්
යම් ප්‍රමාණයක්
නැවත අපතුළ ඇතිවෙයි.

දැන් මේ මොහොතෙහි
බාහිර ලෝකයෙහි සිදුවෙන දෙයින්
ඔබ තුළ වෙනස්කම් සිදුවෙමින් පවතියි.

ශ්වසනය, ආහාර ජීර්ණය,
රුධිර සංසරණය ආදී
කායික ක්‍රියාකාරිත්වයන් නිසාත්
ඔබ තුළ වෙනස් වීම් සිදු වෙයි.

දැන් මේ මොහොතෙහි
ඇතුළත හා බාහිර සිදුවන
වර්තමාන වෙනස්කම් හැර
අප කයෙහි හා සිතෙහි සිදුවන
අන් සියලුම දේ
අප එසේ විඳිනලද අත්දැකීම්වල
ප්‍රතිනිර්මාණයන්ය.

අපි කළ යුතු දේ කරන්නේත්
ප්‍රිය දේ සොයා යන්නේත්
අප්‍රිය දෙයින් ඉවත් වන්නේත්
මේ ක්‍රතෘ විරහිත
ස්වයං ජනනීය ක්‍රියාවලිය ආධාරයෙනි.

බලුපැටියාට හෝ ළදරුවාට
ආහාර දුන් කාන්තාව
"පැටියෝ" කියා ඇමතුවොත්
අර ළදරුවා හෝ බලුපැටියාගේ
කයෙහි හා සිතෙහි සිදුවෙන වෙනස් කම්
පාලනය කළ නොහැක.

කයෙහි හා සිතෙහි සිදුවෙන
වෙනස්කම් දෙකම සිදුවන්නේ ඉබේටය.

දරුවාත්, බලුපැටියාත්
ඔවුනට ප්‍රියවූ
එම ශබ්දයට, රූපයට,
සුවඳට, රසට හා ස්පර්ශයට
වහලෙකි.

රිසි ලෙස හීලෑ කරගන්නට,
තමන්ට රිසි අතක ගෙන යන්නට,
රිසි අයුරින් ප්‍රයෝජන ගන්නට,
රිසි අයුරින් පාලනය කරන්නට,
මෙම ශබ්දයට, රූපයට,
සුවඳට, රසට හා ස්පර්ශයට
හැකියාවක් ඇත.

ඒ හැකියාව ඇත්තේ
අර කාන්තාවට පමණක් නොවේ.

ඇය විසින්
දරුවා හෝ බලු පැටියා තුළ
නිර්මාණය කොට හුරු කළ
ශබ්දයට, රූපයට,
සුවඳට, රසට හා ස්පර්ශයටයි.

ඒ ළදරුවා හෝ බලුපැටියා ඔබ නම්
ඒ ශබ්දය, රූපය, සුවඳ, රස
හා ස්පර්ශය හෝ ඉන් කොටසක්
ප්‍රතිනිර්මාණය කළ හැකි
ඕනෑම කෙනෙකුට, ඕනෑම දෙයකට
ඔබ පාලනය කළ හැක.

ගීතයකට, චලන චිත්‍රයකට,
සිතුවමකට හෝ ඡායාරූපයකට,
සුවඳ විලවුන් වර්ගයකට,
ආහාරයකට එම ක්‍රියාවලිය ඇසුරෙන්
අප උත්තේජනය කරගෙන
කිසියම් මාවතක රැගෙන යන්නට
එම ශබ්දයට, රූපයට,
සුවඳට, රසට හා ස්පර්ශයට
හැකියාවක් ඇත.

මේ ඡායාරූපයේ සිටින
ප්‍රසිද්ධ පුද්ගලයන් ගේ මුහුණු
එකින් එක බලන විට
ඔබ තුළ විවිධ හැඟීම ජනිත වෙයි.

 
 ප්‍රිය ජනක ශබ්දයට, රූපයට,
සුවඳට, රසට හා ස්පර්ශයට ඇති බලයම
අප්‍රිය ජනක ශබ්දයට, රූපයට,
සුවඳට, රසට හා ස්පර්ශයටද ඇත.

ඔබ තුළ සිදුවෙන
ඒ ප්‍රිය අප්‍රිය වෙනස්කම්
ඔබ ඇතිකරගන්නා ඒවාද?
එම හැඟීම් පිළිබඳව
ඔබට පාලනයක් තියනවාද?.

මේ සත්‍යයෙන්
මේ වහල්බවින් ගැලවීමක්
වැඩිහිටි ඔබටවත් තිබේද?

ළදරුවාට හෝ බලුපැටියාට නැති
ආත්ම දමනයක් ඔබට තිබේද?

තිබිය යුතුය.

මින්පසුව ඔබ යම් දෙයක් කරන විට
ඊට හේතුවන ප්‍රිය අප්‍රිය උත්තේජනය
දකින්නට උත්සාහ කරන්න.

20121221

මිනිස්සුන්ගෙයි තිරිසනුන්ගෙයි ලොකු වෙනසක් නැහැ.


 



සුනඛයාට දැනෙන පරාසය සහ
හිතන්නට පුලුවන් පරාසය තුළයි
ඌ ක්‍රියා කරන්නෙ.

ඌට තරහා ආවොත්
කන්න දෙන අත සපා කන්නත්
ඌට පුලුවන්.

මෙතනදිත්
ඌට බැරි බව නොතේරෙන නිසයි
ඌ මේ දේ කරන්නෙ.

තමන් කරන්නෙ මොකක්ද කියල
නොදැන කරන හොඳත්
වටින්නෙ නැහැ.

මිනිස්සුන්ගෙයි තිරිසනුන්ගෙයි
ලොකු වෙනසක් නැහැ.
1, ප්‍රිය අයට හොඳ කරනවා.
2, අප්‍රිය අයට නරක කරනවා.
3, කරන්නෙ මොනවද කියල දන්නෙ නෑ.

මිනිස්සුත් ඔය තුන් විදියටම
ක්‍රියා කරනවා.

මිනිස්සු වෙනස් වෙන්නෙ වෙනත් දේකින්.

සමීපම කෙනෙක් වුණත්
බේරගන්න බැරි බව දන්නවා නම්
නොතැවී ඉන්න පුලුවන්
මිනිසෙකුට විතරයි.

තමන්ට හතුරු කම් කරන
කෙනෙකුට වුණත්
උපකාර වෙන්න වුණාම
තමන්ගෙ ද්වේශය දමනය කරගෙන
උදව් කරන්නත් පුලුවන්
මිනිසෙකුට විතරයි.

තමන්ට දැනෙන්නෙ මොනවද,
තමන්ට හිතෙන්නෙ මොනවද,
තමන් කියන්නෙ මොනවද,
තමන් කරන්න මොනවද කියල
දන්නෙ මිනිසා විතරයි.

ඒ දැනෙන, හිතෙන,
දෙ දැකලා ඒ අනුව
කියන කරන දේ
කළමනාකරනය කරගන්නත් පුලුවන්
මිනිසෙකුට විතරයි.

ඒ මිනිසත් බව
දියුණු කරගන්නෙ
නැති අය තිරිසනුන් මෙන්
ජීවත් වෙනවා.



20121217

ජීවිතය දැනෙන සහ විඳින ආකාර




මේ තියෙන්නෙ
අද 2012 12 17
උදේ  පුතාටත් දෝණිටත් කියා දුන්
පාඩමකින් සකස් කරපු සටහනක්.

ජීවිතය කියන්නෙ වෙනස්වීම් සහ
ඒ වෙනස් වීම් වලට
අපි දක්වන ප්‍රතිචාර වලටයි.

වෙනස් වීම් වර්ග දෙකකි.
1, අපි තුළ සිදුවෙන වෙනස් වීම්. [අජ්ඣත්ත ]
2, අපෙන් පිටත සිදුවෙන වෙනස් වීම්.[ බහිද්ධා ]

ජීවිතය දැනෙන ආකාර දෙකකි.

ජීවිතය දැනෙන ආකාර දෙක නම්
1, ජීවිතය දැනීම [රාග - ද්වේශ - සති+උපේක්ෂා ]
2, ජීවිතය නොදැනීම [ මෝහ ]

ජීවිතය විඳින ආකාර හතරකි.

ජීවිතය විඳින ආකාර හතර නම්
1, කැමැත්තෙන් විඳිනවා [ රාග ]
2, අකමැත්තෙන් විඳිනවා. [ ද්වේශ ]
3, නොදැනෙන නිසා
කැමැත්තෙන් හෝ අකමැත්තෙන් විඳින්නෙ නෑ. [ මෝහ ]
4, දැනෙනවා,
කැමැත්තෙන් හෝ අකමැත්තෙන් විඳින්නෙ නෑ. [ විදසුන ]

අප අවට හෝ
අප තුළ සිදුවෙන වෙනස්වීම්
සියල්ලම අපට දැනෙන්නෙ නැහැ.

අපි තුළත් අපෙන් බාහිරත් සිදුවෙන
සමහර  වෙනස්වීම් අපට දැනෙනවා.

 බොහෝ වෙනස්වීම් පිළිබඳව
සිහියෙන් තොරවීම නිසා
ඒ වෙනස්වීම් අපට දැනෙන්නෙ නැහැ.

අප අවට හෝ
අප තුළ සිදුවෙන වෙනස්වීම්
නොදැනෙන කෙනෙක්
කයින් ප්‍රතිචාරයක් දැක්වුවත්
ඔහු ඒ බව දන්නෙ නැහැ.

දැනෙන සිදු වීම් වලට
අපි ආකාර තුනකින් ක්රියා කරනවා.
එකම ක්‍රියාවක් කරන හතර දෙනෙක්
හතර ආකාරයකට ක්‍රියා කරන්න පුළුවන්.

අපි උදාහරණයක් අරගෙන බලමු.

එක පවුලක අම්මා තාත්තා පුතා
සහ දුව අයිස්ක්‍රීම් කමින් සිටිනවා.
අයිස්ක්‍රීම් දිවේ ගෑවෙන කොට
දිවෙහි වෙනස් වීම් පෙළක් සිදු වෙනවා.

ඔවුන්ගේ දිවේ වෙනස්වීම් හතර ආකාරයි.
1, අයිස්ක්‍රීම් වල සීතල නිසා දිව වෙනස් වෙනවා.
2, අයිස්ක්‍රීම් වල පැණි රස නිසා දිව වෙනස් වෙනවා.
3, අයිස්ක්‍රීම් වල කිරි රස නිසා දිව වෙනස් වෙනවා.
4, අයිස්ක්‍රීම් වල මෘදු හෝ රළු බව නිසා දිව වෙනස් වෙනවා.

අයිස්ක්‍රීම් කමින් ඉන්න
මේ පවුලෙ හතර දෙනාගෙම දිවේ
මේ වෙනස් වීම් හතරම සිදු වෙනවා.
ඔවුන්ගේ දිවේ වෙනස්වීම් වලට
ඔවුන් දක්වන ප්‍රතිචාර හතර ආකාරයි.

1, පුතාට දිවේ සිදු වෙන වෙනස් වීම් දැනෙනවා.
සීතල, පැණි රස, කිරි රස,  මෘදු හෝ රළු බව දැනෙනවා.
පුතා ඒ වෙනස් වීම් වලට කැමතියි. [ රාග ]

2, දුවට දිවේ සිදු වෙන වෙනස් වීම් දැනෙනවා.
සීතල, පැණි රස, කිරි රස,  මෘදු හෝ රළු බව දැනෙනවා.
දුව ඒ වෙනස් වීම් වලට අකැමතියි. [ ද්වේශ ]

3, අම්මාට දිවේ සිදු වෙන වෙනස් වීම් දැනෙන්නෙ නැහැ.
කය අයිස්ක්‍රීම් එක කමින් සිටියාට
ඇගේ සිතින් ඇය ඉන්නෙ
වෙනත් දෙයක් ගැන සිතමින්.
අත්දැකීම නොදැනෙන නිසා
අම්මා ඒ වෙනස් වීම් වලට
කැමතිත් නැහැ. අකමැතිත් නැහැ. [ මෝහ ]

4, තාත්තාට දිවේ සිදු වෙන වෙනස් වීම් දැනෙනවා.
සීතල, පැණි රස, කිරි රස,  මෘදු හෝ රළු බව දැනෙනවා.
ඔහු ඒ වෙනස් වීම් වලට ඇතිවෙන
කැමැත්ත හෝ අකමැත්තත් පෙනෙනවා.
විඳින්නෙ අත්දැකීමක් වශයෙන් පමණයි. [ විදසුන ]

පුතාගෙ සහ දුවගෙ
කය වෙනස් වෙනකොට හිතෙත් වෙනසක් වෙනවා.
කයට දැනෙන දේට කැමැත්ත හෝ අකමැත්ත
ඇති වෙන්නෙ  සිතෙයි. [ රාග ] - [ ද්වේශ ]
කයෙහි හා සිතෙහි දැනෙන දේට
කැමැත්ත හෝ අකමැත්තක්
ඇති වෙනවා [ රාග ] - [ ද්වේශ ]

තුන්වැන්නාගෙ
කය ඒ අත්දැකීම නිසා වෙනස් වුණාට
එයින් හිතේ වෙනසක් වෙන්නෙ නෑ.
තුන්වැන්නාගෙ සිත වෙනත් තැනක නිසා
කයට දැනෙන්නෙ නැහැ.
[ උද්ධච්ච කුක්කුච්ච,
විචිකිච්ඡා, ථිනමිද්ධ ]
කයට නොදැනෙන නිසා
දිවේ සිදුවෙන වෙනස් වීම් වලට
කැමැත්තක් හෝ අකමැත්තක්
ඇති වෙන්නෙ  නැහැ. [ මෝහ ]

හතරවැන්නාගෙ
කය වෙනස් වෙනකොට හිතෙත් වෙනසක් වෙනවා.
කයට දැනෙන දේට කැමැත්ත හෝ අකමැත්ත ඇති වුණාට
විඳින්නෙ අත්දැකීමක් වශයෙන් පමණයි.. [ විදසුන ]

ඔවුන් අයිස්ක්‍රීම් විඳින ආකාර හතර නම්
1, කයෙහි හා සිතෙහි වෙනස් වීම් කැමැත්තෙන් විඳිනවා. [ රාග ]
2, කයෙහි හා සිතෙහි වෙනස් වීම් අකමැත්තෙන් විඳිනවා. [ ද්වේශ ]
3, කයෙහි වෙනස් වීම් නොදැනෙන නිසා
සිතින් විඳින්නෙ නෑ. [ මෝහ ]
4, කයෙහි හා සිතෙහි වෙනස් වීම් දැනෙනවා,
විඳින්නෙ අත්දැකීමක් වශයෙන් පමණයි.. [ විදසුන ]

මේ ආකාර හතරට පිටින්
අපට ජීවිතයේ දැනෙන වෙනස්වීම්
අපි විඳින වෙනත් ආකාරයක් නැහැ.

කැමැත්තෙන් විඳින තැනැත්තාට
ඒ කැමැත්ත නිසා [ රාග ]
නැවත නැවත විඳින්නට
ආසාවක් සිතේ ඇතිවෙනවා. [ කාමඡන්ද ]
අයිස්ක්‍රීම් එක වෙන කෙනෙක් ගත්තොත්
පුතාගේ සතුට දුකට හැරෙනවා.

අකමැත්තෙන් විඳින තැනැත්තාට
ඒ අකමැත්ත නිසා [ ද්වේශ ]
නැවත නැවත නොවිඳින්නට
ආසාවක් ඇතිවෙනවා. [ ව්‍යාපාද ]
අයිස්ක්‍රීම් එක වෙන කෙනෙක් ගත්තොත්
ඔහුගේ දුක සතුටට හැරෙනවා.

වෙනත් කල්පනාවකින් ඉන්න අම්මාට
සිතේ වෙනත් වෙනස් වීම්
[ උද්ධච්ච කුක්කුච්ච,
විචිකිච්ඡා, ථිනමිද්ධ ]
සිදුවෙමින් පවතින නිසා
කයෙහි වෙනස් වීම් දැනෙන්නෙ නැහැ.
ඉවත් කළොත් සිහිය ඇවිත්
අයිස්ක්‍රීම් එක අවශ්‍යද කියල
හිතල බලාවි.

තාත්තාට කයෙහි සිදුවෙන වෙනස් වීම්
සහ ඊට අනුපාතිකව
සිතෙහි ඇතිවෙන වෙනස් වීම් වුණත්
පෙනෙනවා. [ විදසුන ]
ඒ වෙනස් වීම් වලට
ප්‍රතික්‍රියා නොදක්වන නිසා
අයිස්ක්‍රීම් එක ඔහුගෙන් ඉවත් කළත්
ඔහු තුල වෙනස් වීම් නොදැනී යාම හැර
සිතේ වෙනසක් සිදුවෙන්නෙ නැහැ.


20121216

නාම රූප හා චිත්ත රූප




නාම රූප හා චිත්ත රූප

දින දෙක තුනකට පෙර
බිරිඳගේ පාර්ශ්වයේ නෑදෑ පිරිසක්
අපේ ගෙදර නවතින්න ආවා.
පුතා ඒ කණ්ඩායමේ
පිරිමි ළමුන් දෙදෙනෙක් සමග
ගේ පුරා දුවමින් සෙල්ලම් කළා.
දෝණිත් එතන හිටිය
යොවුන් දැරියක් සමග
ඉතාම සමීපව හිටියා.
දෝණි එයින් ලොකු ඒක පාර්ශවික
මානසික සුවයක් වින්ද..

( පුතා ඇවිත් බලල
ලියන්නෙ මේ ගැන කියල දැනගත්තාම
මගෙන් ඇහුවා "ඒක පාර්ශවික"
කියන්න මොකක්ද කියල. )
"ඔයා DVD එකක් ප්ලේ කරනකොට
ඔයා සතුටු වෙනවා..
DVD එක සතුටු වෙන්නෙ නෑ.."
දෝණි හිනාවෙලා කියනවා
""DVD එක මිනිස්සු නෙමෙයිනෙ" කියලා.
ඒකෙදි පුතා විඳින සතුට
ඒක පාර්ශවිකයි..

පුතාගෙ සතුට කායික හා
මානසික යන තල දෙකෙන්ම
වින්ද අත් දැකීමක්.

දෝණිගෙ සතුට
බොහෝ දුරට තනිකරම වගේ
මානසික සතුටක්.
( දෝණි කියනවා
"ඒ ගොල්ලො ගියත් මට සතුටයි"කියලා.
ඒ කියන්නෙ ඒ ගොල්ලො නැති වුණත්
මගේ සතුට මට තියනවා" )
අර යුවතියට විශාල සතුටක් තිබුණෙ නෑ.
ඒත් ඈ හොඳ උත්ප්‍රේරකයක් විදියට
කැමැත්තෙන් ක්‍රියා කළා.

ඔවුන් ආව දවස්වල
පුතා පුංචි කාලෙ එයාට ලැබුලා.. කැඩිලා
බඩු මුට්ටු අතරෙ නැති වෙලා තිබුණ
සවි ශක්තිය අතින් ඉතාම ඉහළ
ඇමෙරිකානු කෙළි බඩුවක
රිද්මයකට හඬ නගන
හදවත වැනි කොටස
ආයෙ මතුවුණා.
ඒක වයින් කළාම
සිඟිති පාසල් වල කියන
"London bridge is falling down "
කියන ළමා ගීයෙ
තනුව වාදනය වෙනව.

අර මුලින් කියූ නෑදෑ පිරිස
ඇවිත් ඉඳිද්දි
දෝණි අර දැරිය ළඟින් ඉඳගෙන
නැවත නැවත ඒ සංගීතය
වාදනය කරමින් වින්දා.
දින දෙකකින් ඔවුන් ආපසු ගියා.
ඔවුන් දෙන්නාම වියෝ දුක
සියුම්ව විඳිනවා මිසක්
හඬා වැලපෙන සිරිතක් නැහැ.
දෝණි නිදා ගත්තා.
පුතා DVD එකක් වාදනය කළා.
පස්සෙ පුතාට ඔවුන් මතක් වෙලා
ඇඬිලා තිබුණා.
දෝණිත් ඇයි අඬන්නෙ කියල අහලා
හේතුව කිව්වාම එයත් අඬාගෙන
අපි ළඟට ආවා.
ඒ වෙලාවෙ දෝණි ආවෙත්
අර සංගීතය වාදනය වෙන
කෙළිබඩුවත් අරන්...

මම ඈට කිව්වා
"අපිටත් එහෙම තමයි..
කට්ටියක් ඉඳල ගියාම දුකයි.
අපි උපේක්ෂාවෙන් ඉන්නවා.
ඔයාට පුලුවන් නම් ...
උපේක්ෂාවෙන් ඉන්න..
බැරි නම් අඬන්න...
කෙල්ලො ඇඬුවට කමක් නෑ" කියලා.

මම අඬන්න කිව්වාම ඇගේ
ඇඬුම නැවතුණා.

අර සංගීතය වාදනය  අසමින්
ඔවුන් රස විඳින්නෙ
ඒ සද්දෙ නෙවෙයි..

ඒ සද්දෙ ඇහෙන කොට
නෑදෑයන් මතක්වීම බව
අපි ඔවුන්ට කිව්වා.

අද උදේ දෝණි නැගිටලා ගිහින්
අර කෙළි බඩුවෙ සංගීතය
වාදනය කරමින් වින්ද.

මම ඈට කතා කරල ඇහුවා
"ඇයි ඔයා ඕක අහන්නෙ" කියලා.
එයා මුලින් කිව්ව දේ මට මතක නැහැ.
ඒක අපැහැදිලි නිසා මම ආයෙත් ඇහුවා
"ඕක දාගෙන ඉන්න කොට
ඔයාට දැනෙන්නෙ මොකක්ද"කියලා.
ඒ වෙලාවෙදි එයා කිව්වා
සචී අක්කා මතක් වෙන නිසා කියල.
දැන් එයාට කතා කරලා
නැවත අහන කොට එයා කියනවා,
"ඒක දාගෙන ඉන්නකොට
සචී අක්ක ඉන්නවා වගේ පේනවා" කියලා.
මම පුතාටත් කතා කරල
දෙන්නගෙන්ම ඇහුවා
"මේක ඇහෙන කොට ඔයාලට දැනෙන්නෙ
සතුටක්ද දුකක්ද?" කියල.
පුතා කිව්වෙ "දුකක්" කියලා.
දෝණි කිව්වෙ "සතුටක්" කියලා.
ඊට එක හේතුවක් වශයෙන් මට හිතුණෙ
පුතා කායික හා මානසික තල දෙකන්ම
අත් විඳපු සතුට ඔහුට අර
සංගීතයෙන් මතු වුණාට
ඒ අත්දැකීම
සංගීතයෙන් විඳින්න බෑ.
ඒ හින්දා ඔහුට ඒක දුකක්.

දෝණි වින්දෙත් විඳින්නෙත්
චිත්ත රූපයක් නිසා
ඈට ඒ ඇති.

මම ඔවුන්ට ඒ වෙනස කිව්වා.

සිත හොයන දේ කයට නැත් නම්..
කය විඳින දේ සිතට එකඟ නැත්නම්
මිනිසා දුක් විඳිනවා.

කය වර්තමානයෙහි පවතිද්දි
සිත අතීතයෙන් හෝ අනාගතයෙන්
යමක් ඉල්ලනවානම්
චිත්ත රූපයකට වැඩි දෙයක්
ලබා ගන්න බෑ.

ඔහු මවා ගත්ත චිත්ත රූපය විඳින කොට
කය කෑම බීම නැතිව දුක් විඳිනවා.
ප්‍රියයන් වෙන්වුණාම
චිත්ත රූපය මවා ගන්නා තැනැත්තා
කන්නෙ බොන්නෙ නැතුව දුක් විඳිනකොට
කය දුක් විඳිනවා.

ප්‍රියයන් වෙන්වුණාම
චිත්ත රූපය මවා නොගන්නා තැනැත්තා
ඒක මතක නැති කරගන්න
ඕනවට වඩා කමින් බොමින්
කයට දුක් දෙනවා.

දෙන්නටම සැනසිල්ලක් නැහැ.

නාම හා රූප වශයෙන් දෙකකට බෙදිලා
ජීවත් වෙන මිනිසා,
නාම රූප දෙක අතරෙ දෝලනය වෙමින්,
දුක් විඳිනවා.

නාම රූප දෙක එකක් මෙන්
ඒකකයක් මෙන් කටයුතු කරන විදියට
සම්පජානෝ සතිය දියුණු වෙනතුරු
මේ දුක් වලින් මිදෙන්න
එකම ක්‍රමයයි තියෙන්නෙ.
ඒ තමයි හිත දුක් විඳින කොට
ඒ දුක කයෙහිත් දකින එක.

ඒ ටික කර ගන්න බැරුව තමන්
දුකෙන් මිදෙන්න කියලා
යම් සංගීතයක් විඳිනවා නම්
යම් අඳෝනාවක් කරනවා නම්,
මැසිවිල්ලක් නගනවා නම්,
අඬෝවැඩියක් කරනවානම්,
අඬ දබර කරනවා නම්..
දුකෙන් මිදෙන්න කියලා
මොනවාම හෝ කරනවා නම්...
ඒ දේ කරන්නෙ හිතේ තියන දුක නිසා
කියල දකින එකයි.

දුක නිවෙන්න ආරම්භ වෙන්නෙ
දුක දැකීමෙන්.

දුකෙන් පැනල යන්න කරන දෙයින් වෙන්නෙ
දුක දළු ලන එකයි.

මම ආයෙත් අර සංගීතය වාදනය කරලා
පුතාගෙනුත් දෝණිගෙනුත් ඇහුවා,
"දැන් දැනෙන දුක ඉස්සෙල්ලා ගණනමද ?
අඩුද ? නැත්නම් වැඩිද ? කියලා.
දෙන්නම කිව්වා අඩුයි කියලා..

ඇයි ඒ?

20121113

පුංචි ළමයින්ගෙ පුංචි වැරදි



"පුංචි ළමයි කරන්නෙ පුංචි වැරදි නිසා 
පුංචි ළමයින්ගෙ පුංචි වැරදි  ගැන ලොකුවට හිතන්න එපා"
කියල සමහර වැඩිහිටියො කියනවා.
එහෙම හිතන අයට 
වැඩිහිටියො කියන එකත් වැරදියි.

පුංචි ළමයි කරන වැරදි
ලොකු අයගෙ වැරදිත් එක්ක බැලුවාම
පුංචි වුණාට
පුංචි ළමයින්ගෙ පුංචි වැරැද්දත් ලොකුයි.
ලොකු කකුලක දැම්මත්
පුංචි කකුලක දැම්මත්
සපත්තුව සපත්තුවක්මයි..
පුංචි කකුලෙ මඩ ගෑවෙන්නෙ චුට්ටයි කියල
කවුරුවත් තමන්ගෙ ළමයි
සපත්තු නොදා යවන්නෙ නෑනෙ.

සතුන් මරන එක
හොරකම් කරන එක
කෑමට බීමට කෑදර වෙන එක
බොරු කියන එක
මත් වෙනවනම් පැණි බොන එක,
චොක්ලට් කන එක වුණත්
පුංචි අයට කරන්න හොඳ නැති
නරක වැඩ.

නරක වැඩ වලට ඉඩ දෙන අය
නරක වැඩ නරකයි කියල නොතේරෙන අය
හොඳටම නරකයි.
ඔවුන්ට නරක වැඩ කියන එක
කනව බොනව වගේ සාමාන්‍ය දේවල්.
හොඳ නරක දකින්නත්
අපට වෙනම ඇස් තියෙන්න ඕන.
අද ලොකු අය බොහෝ දෙනෙකුගෙ
හොඳ නරක දකින
ඇස් අන්ධවෙලයි තියෙන්නෙ.

අන්ධ අය පෙන්නන පාරක ගියොත්
අන්ධයා වැටෙන වලේ
එයත් එක්ක යන කෙනත් වැටෙනවා.
ලොකු අය කොයිතරම් අන්ධ වුණත්
ළමයින්ට එයාල එක්ක නොගිහින් බැහැ.
කරන්න දෙයක් නැතිකමට
ඒ යන ගමන නිසා
ඔවුන්ට ඉගෙන ගන්න වෙන්නෙ වැරදි දේව්ල්.
ඔවුන් ප්‍රශ්න විසඳගන්නෙ
නරක ක්‍රම වලින්.
ඔවුන් ඉගෙන ගන්න දේවල් වැරදි නිසා
ළමයි කොයි තරම් ලොකු මිනිස්සු වුණත්
එක වරදකින්
ජීවිතේ පවා නැතිවෙන්න පුළුවන්.

හැම පුංචි ළමයෙක්ම හොඳයි.
ළමයි නරක් වෙන්නෙ නරක ලොකු අය නිසයි.
දක්ෂ ගායක ගායිකාවන්ගෙ දරුවො
ගායනයට දක්ෂ වගේම
හුඟක් නරක දෙමව්පියන්ගෙ දරුවොත්
ඒ දේව්ල් වලට දක්ෂ වෙනවා.

ලොකු අය නරක වැඩ කරන කොට
පුංචි අයත් ඒක බලාගෙන කරනවා.
පුංචි ළමයි වැඩියෙන්ම ඉගෙන ගන්නෙ ඒ විදියට.
හොඳටම ඉගෙන ගන්නෙත් ඒ විදියටයි.
පිහිටන්නෙත් එහෙම ඉගෙන ගන්න දේයි.

පුංචි ළමයි වැරදි කරන්නෙ
නරක වැඩ කරන ලොකු අය
එයාලට ඉඩ දෙන නිසයි..

බොරු කියන අම්මලට තාත්තලට,
බොරු කියන වෙනත් ලොකු අයට
පුංචි ළමයෙක් බොරුවක් කිව්වාම
එපා කියන්න අමාරුයි.

සමහර ලොකු අය ඉන්නවා
තමන්ගෙ ළමයි  බොරු කියන එක
ලොකු දක්ෂකමක් විදියට
අගය කරනවා.
ඒ ලොකු අයට නොතේරුණාට
ඔවුන් අර පුංචි ළමයින්ගෙ හිත්වල
පෝෂණය කරන්නෙ විසකුරු වෛරසයක්.
නරක ලොකු අය කිරි දීල හදන්නෙ
නයි පැටව්.

ඒ ළමයි ලොකු වෙනකොට
අනිත් පැත්තට අර ලොකු අයටම
ලොකු බොරු කියල අහුවුණාම
ලොකු අයට හොඳටම තරහ එනවා.
ඒත් ඒ ළමයට බොරු ඉගැන්නුවෙත් තමන්මයි කියල
ඒ වෙලාවට කාටවත් මතක් වෙන්නෙ නෑ.

ළමයි නරක් වෙන්නෙ ලොකු අයගෙ වරදින් වුණාට
කරන වැරදි වලින් වැඩියෙන්ම දුක් විඳින්නෙ
නරක වැඩ කරන කෙනාමයි.

නරක දෙයක්, වැරදි දෙයක් පුංචියට වුණත්
ආයෙ ආයෙම කරන කොට ඒක පුරුදු වෙනවා.
ගාණක් නැතිවෙනවා.
සමහර අයට පුරුද්ද නිසාම
නොකර බැරි වෙනවා.

නරක නම්, වැරදි නම්
කොයි තරම් පුංචි වුණත්
එකම සැරයක්වත් කරන එක වැරදියි.
පුංචි වරදක් හරි,
එක සැරයක් කලාම පෙනෙන්නෙ නැති කෙනාට
දහසැරයක්, සිය සැරයක් වුණත්
ඒක කරන්න පුළුවන්.
කරන කරන වාරයක් පාසාම
එයාට ඒක පුරුදු වෙනවා.
කරල කරල කරල පුරුදු වුණාම
චිම්පන්සියෙක් වගේ ඉබේටම කරනවා.
හිරේ විලංගුවෙ දැම්මත්
කාටව්ත් නවත්තන්න බැහැ.

නයෙක්, පොළඟෙක්,
පත්තෑයෙක් වුණත්
පුංචිම පැටියෙක් වුණත් දැක්ක ගමන්
ඕනම කෙනෙක් බය වෙනවා.
පුංචි උණත් විසකුරු සර්පයා විසයි.
පොඩිළමයෙකුට
පැටියෙක් කෑවත් ගොඩක් විසයි.

වැරදි දේවල්, නරක දේවල් දිහා
සර්පයො දිහා බලනවා වගේ
බයෙන් බලන්න.
සර්පයො  කෑවට
විස නොදැනෙන අයත් ඉන්නවා..
ඒ ඔවුනුත් විසකුරු සර්පයින් නිසයි.
හොඳ මොනවද නරක මොනවද
කියල දන්න අයට
සර්පයො  අඳුනගන්න පුළුවන්.
සර්පයො තමන්ගෙ කවුරු වුණත්
ඔවුන්ව අනුගමනය කරන එක භයානකයි.

සර්පයෙක් වුණොත්
හොඳ කෙනෙක්
ළඟටවත් එන්න කැමති වෙන්නෙ නෑ.
හොඳ කෙනෙක් දැක්කම
සර්පයටත් හිතෙන්නෙ දෂ්ඨ කරන්නයි.
එහෙම වුණොත්
ජීවත් වෙන්න වෙන්නෙ
සර්පයො එක්කමයි.

සර්ප ගතිගුණ ඇතිව ලොකු වුණොත්
ඒ ජීවිතේ තමන්ටත් අනුන්ටත්
ලොකු දුකක්.






20121106

අපි රස කෑම කන්නෙ ඇයි..?


















රස දේවල් කන්න අපි කවුරුත් ආසයි.

පොඩි ළමයි රස දේවල් කන්න
වැඩියෙන් ආසයි කියල තමයි
ලොකු අය කියන්නෙ.
ලොකු අය හිතන්නෙත් එහෙමයි.

ඒත්
රස දේවල් කන්න
ලොකු පොඩි කවුරුත් එක වගේ ආසයි.

පොඩි ළමයි ආස බව
හංගන්නෙ නැති නිසා තමයි
ලොකු අය එහෙම හිතෙන්නෙ.


* ඇයි ඉතින් අපි රස දේවල් කන්නෙ.

බඩගින්නට.

* බඩගිනි වෙලාවක රස නැති දෙයක් දුන්නොත්
නොකා ඉන්නවද?

ගොඩක් බඩගිනි නම් රස නැතිවුණත් කනවා.

* හොඳටම බඩ පිරුණ වෙලාවක
රස නැති දෙයක් දුන්නොත්
කන්න හිතෙනවද?

නෑ...

* හොඳටම බඩ පිරුණ වෙලාවක
රස කෑමක් දුන්නොත් බෑ කියනවද?

නෑ.. කනවා.

බඩගිනි වෙලාවට රස බැලුවෙ නැතුවට
අනික් වෙලාවට අපි රස දේවල් කන්නෙ
රසට ආස නිසා.

* කොහේද රස තියෙන්නෙ.?

රස කෑමවල රස තියනවා.

* කොහොමද දන්නෙ.

කන කොට රස දැනෙන නිසා.

* කොහාටද රස දැනෙන්නෙ.?

අපේ කටට.

* මුළු කටටම රස දැනෙනවද?

නෑ.. අපේ දිවටයි රස දැනෙන්නෙ.

දිවට රස දැනෙන්නෙ නැත්නම්
අපි කෑම කනවද?

නෑ.

එහෙනම් අපි කෑම කන්නෙ
කෑම වලට ආස වෙන්නෙ රස නිසා.
රස කෑම කන්නෙ
රසට තියන ආසාව නිසයි.

රසට තියන ආසාවට
බුදුන් වහන්සේ කියන්නෙ
කාමඡන්ද කියලයි.
ඇස් කන් නාසා ආදී
ඉන්ද්‍රිය පහටම
කාමඡන්ද පොදුයි.

මොනව හරිදේක
රසට තියන ආසාව වැඩි නම්
අපි ගොඩාක් කනවා.
ර්සට තියන ආසාව අඩු නම්
අපි කන්නෙ ටිකයි.

අපි ඕනවට වඩා කනව නම්
එහෙම නැත්නම් ඕන තරමට
කන්නෙ නැත්නම් ඒක හරිද?

නෑ. වැරදියි.

එහෙමයි කියල අපිට
කෑම නොකා ඉන්න පුලුවන්ද?

එහෙම කරන්න බැහැ.

කරන්න තියෙන්නෙ
රස කෑමක් කන වෙලාවට
ගොඩක් කන්න ආස හිතෙන කොට
මගේ හිතේ මෙ තියෙන්නෙ
රසට තියන කැමැත්ත
කියල දැන ගන්න එකයි.

තව කෙනෙක්
රස හොයන කොට
එයා රස හොයනවා
කියල දකින්න.
පුලුවන් නම් එයාටත් කියන්න,
ඔයා හොයන්නෙ රස නේද කියල..

රසට තියන කැමැත්ත
කාමඡන්දය වැඩි වුණාම
හිත අඳුරු වෙනවා.
හොඳ මොනවද,
නරක මොනවද කියල
නොපෙනී යනවා.

අනික් අයගෙ දේවල් හොරෙන් කන්නෙ
අනික් අයගෙ දේවල් උදුරගෙන කන්නෙ
රසට තියන කැමැත්ත
කාමඡන්දය
හොඳටම වැඩි වුණාමයි.

මීට පස්සෙ
කෑමක් කන කොට
දිවට දැනෙන රස
හොඳට බලන්න.
දිවේ කොතනටද දැනෙන්නෙ,
කොහොමද දැනෙන්නෙ කියල
හොඳට බලන්න.

රසට තියන කැමැත්ත
කාමඡන්දය හිතේ  ඇති වුණාම
"මගේ හිතේ මෙ තියෙන්නෙ
රසට තියන කැමැත්ත"
කියල දකින්න.
ඒ ගැන සිහියෙන් ඉන්න කෙනාගෙ
හිත අඳුරු වෙන්නෙ නැහැ.
රසට තියන ආසාව නිසා
කරන වැරදි අඩුවෙනවා.