20131215

මනෝ පුබ්බංගමා ධම්මා





අපේ පුතාට
පළවෙනි ධම්ම පද ගාථාව
කියල දෙන්න අද මට සිදු වුණා.

දැන් ඒ ගාථාවෙ පළවෙනි පද දෙක
ඔහුත් සමග මමත් තේරුම් ගනිමින් ඉන්නවා.


1, මනෝ පුබ්බංගමා ධම්මා
2, මනෝ සෙට්ඨා මනෝමයා.

https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-ash3/1518284_10201112061830383_1687543927_n.jpg
1, මනෝ පුබ්බංගමා ධම්මා

සියලු ධර්මතාවයන්ට
පූර්වංගමව මනස පවතියි.

ගින්නෙන් වතුර වාෂ්ප වීම
ධර්මතාවයක් විදියට පුතාට කිව්වම
ඔහු ඒ පිළිබඳව හිතට වැදුණට පස්සෙ
ගින්නට වතුර දැම්මම ගින්න නිවෙනවා කියල
ඔහු කියනවා.

සකසන ලද ධර්මතා රැසක ප්‍රතිඵලයක් විදියට
ගෙදරට විදුලිය පැමිණීම තවත් ධර්මතාවයක්.

ගෙදරට එන විද්‍යුත් ශක්තිය
විදුලිබල්බයෙන් ආලෝකය බවට පත්වීමත්
ශීතකරණය තුළින් සිසිලස බවට පත්වීමත්
රූපවාහිනිය තුළින් රූප හා ශබ්දය බවට පත්වීමත්
තවත් පෙළ ගැස්වූ ධර්මතා රැසක ප්‍රතිඵල.

විද්‍යුත් ධර්මතාවයෙන් නිවස තුළ උපදින
ආලෝකය, තාපය, රූප, හඬ ආදී
ධර්මතා සියල්ලට පූර්ව අංගය වශයෙන්
විද්‍යුත් ධර්මතාවය පවතිනවා.

හිරු එළියට හිරු පූර්වාංගමයි.
සම්මුති වශයෙන් නම්
බැලූ බැල්මට පෙනෙන විදියට
හඳ එළියට හඳ  පූර්වාංගමයි.
ඒත් පරමාර්ථ වශයෙන් බලන කොට
හඳ එළියටත් හිරුම පූර්වාංගමයි.

මේ විදියටම
අපි දකින අහන
අප සිත තුළ පහළ වෙන
සියලුම ධර්මතා වලට මනස පූර්වාංගමයි.

සියලුම ධර්මතා වලට පූර්ව අංගය ලෙස
ඒ සියල්ලටම ඉදිරියෙන්
මන නම් වූ ධර්මතාවය පවතිනවා.


2, මනො සෙට්ඨා මනොමයා
මනස්සින් බිහිවෙන
මනසින් නිර්මාණය වෙන
සියලු දේට මනස ශ්‍රේෂ්ඨයි.

විද්‍යුත් ධර්මතාවයෙන් නිවස තුළ උපදින
ආලෝකය, තාපය, රූප, හඬ ආදී
ධර්මතා සියල්ලටම
විද්‍යුත් ධර්මතාවය ශ්‍රේෂ්ඨයි.
විද්‍යුත් ධර්මතාවයෙන් උපදින
ඒ සියල්ලටම විද්‍යුත් ධර්මතාවය
ශ්‍රේෂ්ඨයි...

නිවසක විද්‍යුත් ධර්මතාවය දුර්වල වෙන වෙලාවට
විදුලිමය ධර්මතාත් දුර්වල වෙනවා.
ආලෝකය අඩුයි. උණුසුම අඩුයි. සිසිලස අඩුයි.

විදුලියෙන් උපදින
විදුලිමය වූ සියල්ලටම
විදුලිය ප්‍රධානයි.  විදුලිය ශ්‍රේෂ්ඨයි.

මනසින් උපදින
මනොමය වූ සියල්ලටම
මනස ප්‍රධානයි.
මනස ශ්‍රේෂ්ඨයි.

-----------------------------------------------------------
බුදුන් වහන්සෙ
මේ ගාථාවෙ පළමු පදයෙදි
සියලු ධර්මතා වලට
පූර්ව අංගය ලෙස මනස හැඳින්වුවත්
දෙවෙනි පදයෙදි
ධර්මතා වශයෙන් දකින්නෙ
පොදුවෙ සියලු ධර්මතා නෙමෙයි.

පළමුවැන්නෙ නිවසක විදුලිය
පූර්ව අංගය ලෙස හඳුන්වලා
දෙවැන්නෙදි
විදුලියෙන් උපදින ආලෝකය ආදියට
විදුලිය ප්‍රධානයි... ශ්‍රේෂ්ඨයි.
කියල පෙන්වනවා.

සියලුම ධර්මතා වලට මනස පූර්වාංගමයි.
මනසින් බිහිවෙන ධර්මතා වලදි..
මනෝමය වූ සියලු දේට වඩා
මනස ශ්‍රේෂ්ඨයි.

මූලිකව එකිනෙකට වෙනස්
එකිනෙකට සම්බන්ධ සත්‍යතා දෙකක්
මේ පද දෙකෙන්
බුදුන් වහන්සෙ කියා දෙනවා.

පළවෙනි පදය න්‍යායිකයි.
දෙවෙනි පදය ප්‍රයෝගිකයි.

සියලුම ධර්මතා වලට
මනස පූර්ව අංගය වෙන්නෙ
අන් සියලුම ධර්මතා අපි දන්න දේවල් වෙන්නෙ
මනසට දෙවැනිව අනිත් දේ පවතින නිසයි.

විදුලි උපකරණ වලට විදුලිය පූර්ව අංගයි
කියල කියන සත්‍ය තනිව ක්‍රියාකරනවා.
ඒ සත්‍යය න්‍යායිකයි.
විදුලිය හෝ විදුලි උපකරණ වලින් කෙරෙන දේ ගැන
පළමු පදයෙ කතා කරන්නෙ නැහැ.
පළමු පදය අපි කරන කියන දේට
ඍජුව අදළ වෙන්න නැහැ.

අපි කරන කියන දේට
ඍජුව, ප්‍රායෝගිකව අදාළ වෙන්නෙ
දෙවැනි පදයයි.

මනස මූලිකව නිර්මාණය වෙන
මනොමය දේට මනස ශ්‍රේෂ්ඨයි
කියන ප්‍රායෝගික අවස්ථාව
දෙවැනි පදයෙන් හෙළි කෙරෙනවා.

විදුලි උපකරණ ක්‍රියාත්මක වෙද්දි
ඒ උපකරණ වල ක්‍රියාකාරිත්වයට
විදුලියෙ සහභාගිත්වය මූලිකයි
කියල දෙවනුව කියනවා.

පළමුව
පොදු ධර්මතා සමග සැසඳීමෙදි
මනසත් අනික් ධර්මතාත් අතර පවතින
සබඳතාවය කියනවා.
ඒ ධර්මතාවය මුල්වෙන
සියලු දේට වඩා මනස ශ්‍රේෂ්ඨයි
කියල දෙවැන්නෙදි පැවසෙනව.

1, විදුලි බල්බයට විදුලිය පූර්වාංගමයි.
2, විදුලියෙන් උපදින ආලෝකයට
එහි ප්‍රබලතාවයට, දීප්තියට වඩා
විදුලිය ශ්‍රේෂ්ඨයි.

1, මනෝ පුබ්බංගමා ධම්මා
2, මනො සෙට්ඨා මනොමයා

1, සියලු ධර්මතාවයන්ට මනස පූර්වාංගමයි.
2, මනසින් උපදින සියලු දේට මනස ශ්‍රේෂ්ඨයි.
----------------------------------------------------------------
අවසානය නොවේ.