20121113

පුංචි ළමයින්ගෙ පුංචි වැරදි



"පුංචි ළමයි කරන්නෙ පුංචි වැරදි නිසා 
පුංචි ළමයින්ගෙ පුංචි වැරදි  ගැන ලොකුවට හිතන්න එපා"
කියල සමහර වැඩිහිටියො කියනවා.
එහෙම හිතන අයට 
වැඩිහිටියො කියන එකත් වැරදියි.

පුංචි ළමයි කරන වැරදි
ලොකු අයගෙ වැරදිත් එක්ක බැලුවාම
පුංචි වුණාට
පුංචි ළමයින්ගෙ පුංචි වැරැද්දත් ලොකුයි.
ලොකු කකුලක දැම්මත්
පුංචි කකුලක දැම්මත්
සපත්තුව සපත්තුවක්මයි..
පුංචි කකුලෙ මඩ ගෑවෙන්නෙ චුට්ටයි කියල
කවුරුවත් තමන්ගෙ ළමයි
සපත්තු නොදා යවන්නෙ නෑනෙ.

සතුන් මරන එක
හොරකම් කරන එක
කෑමට බීමට කෑදර වෙන එක
බොරු කියන එක
මත් වෙනවනම් පැණි බොන එක,
චොක්ලට් කන එක වුණත්
පුංචි අයට කරන්න හොඳ නැති
නරක වැඩ.

නරක වැඩ වලට ඉඩ දෙන අය
නරක වැඩ නරකයි කියල නොතේරෙන අය
හොඳටම නරකයි.
ඔවුන්ට නරක වැඩ කියන එක
කනව බොනව වගේ සාමාන්‍ය දේවල්.
හොඳ නරක දකින්නත්
අපට වෙනම ඇස් තියෙන්න ඕන.
අද ලොකු අය බොහෝ දෙනෙකුගෙ
හොඳ නරක දකින
ඇස් අන්ධවෙලයි තියෙන්නෙ.

අන්ධ අය පෙන්නන පාරක ගියොත්
අන්ධයා වැටෙන වලේ
එයත් එක්ක යන කෙනත් වැටෙනවා.
ලොකු අය කොයිතරම් අන්ධ වුණත්
ළමයින්ට එයාල එක්ක නොගිහින් බැහැ.
කරන්න දෙයක් නැතිකමට
ඒ යන ගමන නිසා
ඔවුන්ට ඉගෙන ගන්න වෙන්නෙ වැරදි දේව්ල්.
ඔවුන් ප්‍රශ්න විසඳගන්නෙ
නරක ක්‍රම වලින්.
ඔවුන් ඉගෙන ගන්න දේවල් වැරදි නිසා
ළමයි කොයි තරම් ලොකු මිනිස්සු වුණත්
එක වරදකින්
ජීවිතේ පවා නැතිවෙන්න පුළුවන්.

හැම පුංචි ළමයෙක්ම හොඳයි.
ළමයි නරක් වෙන්නෙ නරක ලොකු අය නිසයි.
දක්ෂ ගායක ගායිකාවන්ගෙ දරුවො
ගායනයට දක්ෂ වගේම
හුඟක් නරක දෙමව්පියන්ගෙ දරුවොත්
ඒ දේව්ල් වලට දක්ෂ වෙනවා.

ලොකු අය නරක වැඩ කරන කොට
පුංචි අයත් ඒක බලාගෙන කරනවා.
පුංචි ළමයි වැඩියෙන්ම ඉගෙන ගන්නෙ ඒ විදියට.
හොඳටම ඉගෙන ගන්නෙත් ඒ විදියටයි.
පිහිටන්නෙත් එහෙම ඉගෙන ගන්න දේයි.

පුංචි ළමයි වැරදි කරන්නෙ
නරක වැඩ කරන ලොකු අය
එයාලට ඉඩ දෙන නිසයි..

බොරු කියන අම්මලට තාත්තලට,
බොරු කියන වෙනත් ලොකු අයට
පුංචි ළමයෙක් බොරුවක් කිව්වාම
එපා කියන්න අමාරුයි.

සමහර ලොකු අය ඉන්නවා
තමන්ගෙ ළමයි  බොරු කියන එක
ලොකු දක්ෂකමක් විදියට
අගය කරනවා.
ඒ ලොකු අයට නොතේරුණාට
ඔවුන් අර පුංචි ළමයින්ගෙ හිත්වල
පෝෂණය කරන්නෙ විසකුරු වෛරසයක්.
නරක ලොකු අය කිරි දීල හදන්නෙ
නයි පැටව්.

ඒ ළමයි ලොකු වෙනකොට
අනිත් පැත්තට අර ලොකු අයටම
ලොකු බොරු කියල අහුවුණාම
ලොකු අයට හොඳටම තරහ එනවා.
ඒත් ඒ ළමයට බොරු ඉගැන්නුවෙත් තමන්මයි කියල
ඒ වෙලාවට කාටවත් මතක් වෙන්නෙ නෑ.

ළමයි නරක් වෙන්නෙ ලොකු අයගෙ වරදින් වුණාට
කරන වැරදි වලින් වැඩියෙන්ම දුක් විඳින්නෙ
නරක වැඩ කරන කෙනාමයි.

නරක දෙයක්, වැරදි දෙයක් පුංචියට වුණත්
ආයෙ ආයෙම කරන කොට ඒක පුරුදු වෙනවා.
ගාණක් නැතිවෙනවා.
සමහර අයට පුරුද්ද නිසාම
නොකර බැරි වෙනවා.

නරක නම්, වැරදි නම්
කොයි තරම් පුංචි වුණත්
එකම සැරයක්වත් කරන එක වැරදියි.
පුංචි වරදක් හරි,
එක සැරයක් කලාම පෙනෙන්නෙ නැති කෙනාට
දහසැරයක්, සිය සැරයක් වුණත්
ඒක කරන්න පුළුවන්.
කරන කරන වාරයක් පාසාම
එයාට ඒක පුරුදු වෙනවා.
කරල කරල කරල පුරුදු වුණාම
චිම්පන්සියෙක් වගේ ඉබේටම කරනවා.
හිරේ විලංගුවෙ දැම්මත්
කාටව්ත් නවත්තන්න බැහැ.

නයෙක්, පොළඟෙක්,
පත්තෑයෙක් වුණත්
පුංචිම පැටියෙක් වුණත් දැක්ක ගමන්
ඕනම කෙනෙක් බය වෙනවා.
පුංචි උණත් විසකුරු සර්පයා විසයි.
පොඩිළමයෙකුට
පැටියෙක් කෑවත් ගොඩක් විසයි.

වැරදි දේවල්, නරක දේවල් දිහා
සර්පයො දිහා බලනවා වගේ
බයෙන් බලන්න.
සර්පයො  කෑවට
විස නොදැනෙන අයත් ඉන්නවා..
ඒ ඔවුනුත් විසකුරු සර්පයින් නිසයි.
හොඳ මොනවද නරක මොනවද
කියල දන්න අයට
සර්පයො  අඳුනගන්න පුළුවන්.
සර්පයො තමන්ගෙ කවුරු වුණත්
ඔවුන්ව අනුගමනය කරන එක භයානකයි.

සර්පයෙක් වුණොත්
හොඳ කෙනෙක්
ළඟටවත් එන්න කැමති වෙන්නෙ නෑ.
හොඳ කෙනෙක් දැක්කම
සර්පයටත් හිතෙන්නෙ දෂ්ඨ කරන්නයි.
එහෙම වුණොත්
ජීවත් වෙන්න වෙන්නෙ
සර්පයො එක්කමයි.

සර්ප ගතිගුණ ඇතිව ලොකු වුණොත්
ඒ ජීවිතේ තමන්ටත් අනුන්ටත්
ලොකු දුකක්.






20121106

අපි රස කෑම කන්නෙ ඇයි..?


















රස දේවල් කන්න අපි කවුරුත් ආසයි.

පොඩි ළමයි රස දේවල් කන්න
වැඩියෙන් ආසයි කියල තමයි
ලොකු අය කියන්නෙ.
ලොකු අය හිතන්නෙත් එහෙමයි.

ඒත්
රස දේවල් කන්න
ලොකු පොඩි කවුරුත් එක වගේ ආසයි.

පොඩි ළමයි ආස බව
හංගන්නෙ නැති නිසා තමයි
ලොකු අය එහෙම හිතෙන්නෙ.


* ඇයි ඉතින් අපි රස දේවල් කන්නෙ.

බඩගින්නට.

* බඩගිනි වෙලාවක රස නැති දෙයක් දුන්නොත්
නොකා ඉන්නවද?

ගොඩක් බඩගිනි නම් රස නැතිවුණත් කනවා.

* හොඳටම බඩ පිරුණ වෙලාවක
රස නැති දෙයක් දුන්නොත්
කන්න හිතෙනවද?

නෑ...

* හොඳටම බඩ පිරුණ වෙලාවක
රස කෑමක් දුන්නොත් බෑ කියනවද?

නෑ.. කනවා.

බඩගිනි වෙලාවට රස බැලුවෙ නැතුවට
අනික් වෙලාවට අපි රස දේවල් කන්නෙ
රසට ආස නිසා.

* කොහේද රස තියෙන්නෙ.?

රස කෑමවල රස තියනවා.

* කොහොමද දන්නෙ.

කන කොට රස දැනෙන නිසා.

* කොහාටද රස දැනෙන්නෙ.?

අපේ කටට.

* මුළු කටටම රස දැනෙනවද?

නෑ.. අපේ දිවටයි රස දැනෙන්නෙ.

දිවට රස දැනෙන්නෙ නැත්නම්
අපි කෑම කනවද?

නෑ.

එහෙනම් අපි කෑම කන්නෙ
කෑම වලට ආස වෙන්නෙ රස නිසා.
රස කෑම කන්නෙ
රසට තියන ආසාව නිසයි.

රසට තියන ආසාවට
බුදුන් වහන්සේ කියන්නෙ
කාමඡන්ද කියලයි.
ඇස් කන් නාසා ආදී
ඉන්ද්‍රිය පහටම
කාමඡන්ද පොදුයි.

මොනව හරිදේක
රසට තියන ආසාව වැඩි නම්
අපි ගොඩාක් කනවා.
ර්සට තියන ආසාව අඩු නම්
අපි කන්නෙ ටිකයි.

අපි ඕනවට වඩා කනව නම්
එහෙම නැත්නම් ඕන තරමට
කන්නෙ නැත්නම් ඒක හරිද?

නෑ. වැරදියි.

එහෙමයි කියල අපිට
කෑම නොකා ඉන්න පුලුවන්ද?

එහෙම කරන්න බැහැ.

කරන්න තියෙන්නෙ
රස කෑමක් කන වෙලාවට
ගොඩක් කන්න ආස හිතෙන කොට
මගේ හිතේ මෙ තියෙන්නෙ
රසට තියන කැමැත්ත
කියල දැන ගන්න එකයි.

තව කෙනෙක්
රස හොයන කොට
එයා රස හොයනවා
කියල දකින්න.
පුලුවන් නම් එයාටත් කියන්න,
ඔයා හොයන්නෙ රස නේද කියල..

රසට තියන කැමැත්ත
කාමඡන්දය වැඩි වුණාම
හිත අඳුරු වෙනවා.
හොඳ මොනවද,
නරක මොනවද කියල
නොපෙනී යනවා.

අනික් අයගෙ දේවල් හොරෙන් කන්නෙ
අනික් අයගෙ දේවල් උදුරගෙන කන්නෙ
රසට තියන කැමැත්ත
කාමඡන්දය
හොඳටම වැඩි වුණාමයි.

මීට පස්සෙ
කෑමක් කන කොට
දිවට දැනෙන රස
හොඳට බලන්න.
දිවේ කොතනටද දැනෙන්නෙ,
කොහොමද දැනෙන්නෙ කියල
හොඳට බලන්න.

රසට තියන කැමැත්ත
කාමඡන්දය හිතේ  ඇති වුණාම
"මගේ හිතේ මෙ තියෙන්නෙ
රසට තියන කැමැත්ත"
කියල දකින්න.
ඒ ගැන සිහියෙන් ඉන්න කෙනාගෙ
හිත අඳුරු වෙන්නෙ නැහැ.
රසට තියන ආසාව නිසා
කරන වැරදි අඩුවෙනවා.