20160608

ඇසීමෙන් සිතීමෙන් ප්‍රඥාව පහළ වෙනවාද?



ප්‍රඥාව
සුතමය චින්තාමය අවස්ථා වලදී
ප්‍රඥාව කියා හඳුන්වන්න බැහැ.
මේ මොහොතෙ අත්දැකීම
සිහියෙන් සහ උ
පේක්ෂාවෙන් විඳින තුරු
ප්‍රඥාව ඇතිවෙන්නෙ නැහැ.

අව්ව ගැනඇසීමෙන් සිතීමෙන් 
අව්ව ගැන ප්‍රඥාව පහළ වෙන්නෙ නැහැ.

සුතමය චින්තාමය අවස්ථා වලදී
ඔබට මේ මොහොත මග හැරෙනවා.
ඔබ අහන විට, ඔබ හිතන විට
ඔබේ හිත තියෙන්නෙ
ඔබ අහන හිතන දේ සමගයි.
ඔබට ඔබේ කය ගැන සිහිය නෑ.
වේදනා ගැන සිහිය නෑ.
සිත ගැන, සිතන දේ ගැන සිහිය නෑ.

ඔබ අහන දේ ගැන, සිතන දේ ගැන
ඔබ සිහියෙන් සිටින නමුත්
ඔබ අහන බව ඔබ සිතන බව
ඔබ දන්නෙ නෑ.

ඔබ අහද්දි, ඔබ සිතද්දි
ඔබ තුළ සිදුවෙන වෙනස් කම්
ඔබ අවට පරිසරය නිසා
ඔබ තුළ වෙනස්කම්,
ඔබේ කය ක්‍රියා කරන ආකාරය නිසා
ඔබ තුළ සිදුවෙන වෙනස් කම්
සියල්ලම ගැන සිහියෙන්
ඒ සියල්ලටම උපේක්ෂාවෙන්
ඔබට වෙසෙන්නට පුලුවන් නම්
ඔබ මේ මොහොත පිළිබඳව
ප්‍රඥාවෙන් පසු වෙනවා.

එක මොහොතකට
ඔබේ ඉරියව්වට හිත යොමු කරන්න.
ඒ ඉරියව්ව ගැන සිහියෙන් ඉන්න විට
ඔබට හුස්ම දැනෙනවාද?
ඔබට පහළ වෙන්නෙ ප්‍රඥාවයි.

ප්‍රඥාව අත්දැකීමක්.
ප්‍රඥාවට වචන නෑ.
හැම විටම
ප්‍රඥාව සියයට සියයක්.
99.9ක ප්‍රඥාවක් ඇත්තෙ නෑ.


අව්වෙ යද්දි
ඔබේ කය දවන අව්වත්
ඒ නිසා පහළවෙන දොම්නසත් ආදී වශයෙන්
ඔබ තුළ සිදුවෙන වෙනස් කම්
ඔබ අවට පරිසරය නිසා
ඔබ තුළ සිදුවෙන වෙනස්කම්,
ඔබේ කය ක්‍රියා කරන ආකාරය නිසා
ඔබ තුළ සිදුවෙන වෙනස් කම්
සියල්ලම ගැන සිහියෙන්
ඒ සියල්ලටම උපේක්ෂාවෙන්
ඔබට වෙසෙන්නට පුලුවන් නම්
ඔබට අව්ව ගැනත්
උෂ්ණත්වය නිසා ඔබේ සිත කය දෙක
වෙනස් වෙන ආකාරය ගැනත්
ඔබ පෙර නො ඇසූ විරූ ප්‍රඥාවක්
ඒ මොහොතෙ පහළ වෙනවා.

ඔබ දුක දකිනවා.
ඒ මොහොතෙ ඔබ දුක විඳින්නෙ නෑ.
ඔබට උෂ්ණත්වයත් කයත් ගැන
ප්‍රඥාව පහළ වෙන්නෙ
ඒ මොහොතෙයි.

ඒ උෂ්ණත්වය අංශක කීයද යන්න
ඔබට වැදගත් නෑ.
ඔබේ දුක අංශක කීයද?
දහදෙනෙක් ඔබ සමග ගියොත්
උෂ්ණත්ව මාපකය පෙන්වන්නෙ එකම අගයක්.
දහදෙනාට දැනෙන්නෙ
වෙනස් අංශක ගණන්වල උෂ්ණත්වයක්.

රහතන් වහන්සේ කෙනෙක් ඔබ අතර හිටියොත්
උන් වහන්සේ ඒ මොහොත දන්නවා.
උෂ්ණත්වය දැනෙනවා.
ඒ උෂ්ණත්වය විඳිනවා.
දුක විඳින්නෙ නෑ.
ඔහු ආර්ය පුද්ගලයෙක්.

විදසුන් වඩන්නෙක් ඔබ අතර හිටියොත්
ඔහුත් ඒ මොහොත දන්නවා.
ඔහුටත් උෂ්ණත්වය දැනෙනවා.
ඒ උෂ්ණත්වය ඔහු සිහියෙන් විඳිනවා.
ඒ උෂ්ණත්වය නිසා ඔහුගෙ සිතෙහි සහ කයෙහි ඇතිවෙන
වෙනස්වීම වලට ඔහු උපේක්ෂාවෙන් වෙසෙනවා.
ඔහුත් දුක විඳින්නෙ නෑ.
ඔහුත් ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයෙක්.

මේ මොහොත
ඔබ ආර්ය ශ්‍රාවකයෙක් ලෙස ගත කළොත්
ඒ ප්‍රඥාව ඔබට අයිතියි.
ඔබ දකින්නෙ පෙර නො ඇසූ විරූ මොහොතක්.
ඒ දැක්ම කාගෙන්වත් ලබන්න බෑ.
ඒ ප්‍රඥාවට ඔබ කාටවත් ණය නෑ.

ඒ ප්‍රඥාව
ඔබට දිය හැකි කිසිවෙක්
මේ මිහිපිට හෝ විශ්වය තුළම නෑ.

ඔබ වැනි
වැඩිහිටියෙක් සමග සසඳන විට
ළදරුවන්ගෙ ප්‍රඥාව ඉතා ඉහළයි.

වැඩිහිටියෙක් වෙද්දි
ළදරුවාගෙ ප්‍රඥාවත්, ප්‍රඥාව ලබන මාර්ගයත්
ඔහුට අහිමි වෙනවා.

ඔහු වචන ඉගෙන ගන්නවා.
හිතන්න පුරුදු වෙනවා.
කය විඳින අත්දැකීම ඔහුට මතක වෙනවා.
ඔහු නොවිඳ ඉගෙන ගන්න පුරුදු වෙනවා.
ඒ ආගන්තුක දැනුම
ප්‍රඥාව කියා මුලා වෙනවා.

ඔබ කොතරම් ඉගෙන ගත්තත්
ඔබ නොවිඳින කිසිම දෙයක් ගැන
ඔබ දන්නෙ නෑ.

ඔබ අහන දෙයින්, ඔබ හිතන දෙයින්
ප්‍රඥාව පහළ වෙන්නෙ නෑ.
අහන හිතන වෙලාවෙදි
ඔබට ඔබ අමතක වුණත්
ඔබට සුතමය ඥාණය ලැබෙයි.
චින්තාමය ඥාණය ලැබෙයි.
ඒත්...
භාවනාමය ප්‍රඥාව ලැබෙන්නෙ
මේ මොහොත තුළ පමණයි.

ප්‍රඥාව ලැබෙන්නෙ
ඔබ ඔබ ගැන අවදියෙන්
ඔබේ කය, වේදනා,
ඔබේ සිත, සිතේ ඇතිවෙන දේ ගැන
සිහියෙන් හා උපේක්ෂාවෙන්
පසු වෙන විට පමණයි.

ප්‍රඥාව අතීතය ගැන නොවෙයි.
ප්‍රඥාව අනාගතය ගැන නොවෙයි.
ප්‍රඥාව හැම විටම
මේ මොහොත ගැන පමණයි.
තව මොහොතකින්
ඔබ ඔබ දෙස සිහියෙන් බැලුවොත්
ඔබ දකින්නෙ
කලින් මොහොතෙ දුටු දේ නොවෙයි.
ප්‍රඥාව තවත් බිඳුවක් හිමි වෙනවා.

කෙනෙකුට නිවන් සාක්ෂාත් කරන්න
සමස්ත ත්‍රිපිටකය
අවශ්‍ය නොවෙන්නෙ ඒ නිසයි.
මේ මොහොත විඳින්න තිපිටක දැනුම
උපකාර වෙන්නෙ නෑ.
මේ මොහොත ප්‍රඥාවෙන් ගත කරන්න
මාර්ගය ප්‍රමාණවත්.
ඒ සඳහා
සමස්ත ත්‍රිපිටකය අවශ්‍ය නෑ.
සතිපට්ඨාන උපදෙස් ප්‍රමාණවත්.

මේ මොහොත ප්‍රඥාවෙන් ගත කරන්න
කය පිළිබඳව සිහිය ඇතිව වඩන
ආනාපාන සතියත් ප්‍රමාණවත්.

ඔබේ ප්‍රඥාව පහළ වෙන්නට
බුදුන් වහන්සේගේ සමස්ත දැනුම
ඔබට අවශ්‍ය නෑ.
උන් වහන්සෙ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක්
නියත විවරණ ලැබීමෙන් පසුවත්
ඊට පෙර අනන්ත අපරිමාණ කලකුත්
සසර වෙසෙමින් ලද අත්දැකීම් මත
උන් වහන්සේ ලද සාගරයක් වැනි ප්‍රඥාවෙන්
ඔබේ පුංචි දිදාලය පුරවාගෙන
ඔබට නිවන් දකින්න බැහැ.

ප්‍රඥාව වඩන්න උන් වහන්සේ භාවිතා කළ
විපස්සනා මාර්ගය වඩමින් වෙසෙන විට
ඔබේ ප්‍රඥාවෙන් ඔබේ දිදාලය
පෙත්තටම පිරුණ දවසක් එයි.

ඒ දවසේ ඔබ විඳින අත්දැකීම නිසා
උන්වහන්සේ ප්‍රඥාවෙන් දුටු දේ
ඔබට ඔබ තුළ පෙනෙනවා.

උන් වහන්සේ සතු ප්‍රඥාව
ඔබට අවශ්‍ය නෑ.
ඔබට අවශ්‍ය වෙන්නෙ
ප්‍රඥාව වඩන්න
උන් වහන්සේ ක්‍රියා කළ ආකාරය පමණයි.
ඒ ක්‍රමය ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි.

ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන්
ඔබ ප්‍රඥාව ලබන්නට සුදුස්සෙක් කරනවා.
ඔබට ප්‍රඥාව ලැබෙන්නෙ
සම්මා වායාමයෙන් යුතුව සම්මා සතිය වඩා ලබන
සම්මා සමාධියෙන් යුතුව
මේ මොහොත විසීමෙනුයි.

ප්‍රඥාව කියන්නෙ
නාම රූප ගැන ඇසීම නොවෙයි.
නාම රූප ගැන සිතීම නොවෙයි.
ඔබේ නාම රූප දෙක එකිනෙකට බලපාමින්
මේ මොහොත තුළ වෙනස් වෙන ආකාරය
සිහියෙන් දකිමින්
ඒ සියල්ලටම උපේක්ෂාවෙන් විසීමෙන්
ඔබ ගැන ඔබ සොයා ගන්නා දේ ප්‍රඥාවයි.

ඔබ නිවන් දකින්නෙ ඒ ලැබෙන ප්‍රඥාවෙන්.
ඔබ අහන දකින දේ සිතන දේ නිසා නොවෙයි.

ඔබ කවදාක හෝ ප්‍රඥාව ලබන්නෙ
මේ මොහොත තුළ විඳ
මේ මොහොත තුළ
ඔබ පසක් කරන දේ නිසයි.

ප්‍රඥාව ඒ මොහොතෙම
තමන්ගෙ වීර්යයෙන්
සම්මා සතියත් සම්මා සමාධියත් වැඩීමෙන් උපදින
වා.
තව කෙනෙක් එතන නෑ.
ඔබ පමණයි.

ඔබේ ප්‍රඥාව
ඔබට වෙන කෙනෙකුගෙන් ලබන්න බෑ.
ඔබේ ප්‍රඥාව වෙන කෙනෙකුට දෙන්නත් බෑ.
ඔබ ප්‍රඥාව ලබන මොහොත
සෝක පරිදේව දුක් දොම්නසින් විනිර්මුක්තයි.
ඒ මොහොතට ඔබ නිවන අත්දකිනවා.
ඒ මොහොත හිමි ඔබට පමණයි.

ඔබේ ප්‍රඥාව නිසා දුකෙන් මිදෙන්නේ
ඔබ පමණයි.

20160607

ප්‍රඥාව කියන්නෙ මතක තබා ගැනීම හෝ තර්කනය නොවෙයි.



දවසෙ පැය විසි හතර පුරාම
අපේ අත්දැකීම් විඥාණයෙ තැන්පත් වෙනවා.
 මේ අත්දැකීම්
ප්‍රිය අප්‍රිය ලෙස වින්දොත් හැර
සිතට නොවැදගත් අත්දැකීම් ලෙස
සිතින් නොසලකා හැරෙනවා.
හැම මොහොතකම
පසිඳුරන්ගෙන් ලැබෙන තොරතුරු
සියයට අනූවකටත් වඩා
මෝහය මුල් කරගත් අත්දැකීම් විදියට
විඥාණයේ තැන්පත් වෙනවා.

පොතපතෙන් ලබන දැනුමත්
මිනිස් විඥාණය සලකන්නෙ
මෝහ මූලික අත්දැකීමක් විදියටයි.
ගීත, අසභ්‍ය කතා ආදිය
අත්දැකීම් සම්බන්ධ කරගෙන විඳීම නිසා
රාග ද්වේශ නිශ්‍රිත මතක සටහන් ලෙස
විඥාණයෙ රැඳෙනවා.
අදාළ හැඟීම උත්තේජනය වීමෙන්
පහසුවෙන් මතක් වෙනවා.

ප්‍රිය අප්‍රිය දෙක හෝ නොසලකා හැරීම
රාග ද්වේශ මෝහ වශයෙන්
ඒ තොරතුරු වලට වර්ණය ලබා දෙනවා.
ඉතිරි තොරතුරු ප්‍රඥාව ලෙස
කළු සුදු පාටින් විඥාණයේ සටහන් වෙනවා.

පොත පතෙන් ලැබෙන දැනුම
මතකය විදියට විඥාණයේ රැඳෙනවා.
මතකය පවතින්නෙ වචන ආකාරයෙන්.
ප්‍රඥාව කියන්නෙ
විඳින ලද අත්දැකීමක අවබෝධයයි.

ගින්නට පිළිස්සීමෙ අත්දැකීමක් නොලබා
ගින්නට පිළිස්සීම පිළිබඳව
මහාචාර්ය පදවිය ලබන කෙනෙකුට
ඔහු ගින්න ගැන දන්නා කිසිම දේකින්
පිළිස්සීමෙ අත්දැකීම විඳ පසක් කරන්න බැහැ.
මතකයේ රැඳෙන
වචනවලට එවැනි ශක්තියක් නැහැ..
ගිනිකූරකට පිළිස්සෙන ළදරුවෙක්
ගින්න පිළිබඳ ප්‍රඥාවෙන්
මහාචාර්යවරයා පරදවනවා.

මතක ශක්තිය කියන්නෙ
විඥාණයෙ රැස්වෙන තොරතුරු
නැවත ලබා ගැනීමේ හැකියාවයි.
මතක තබා ගැනීමෙන්
ප්‍රඥාවක් ඇති වෙන්නෙ නැහැ.

ශීලයෙන් වැඩෙන සංවර බව
සමථයෙන් වැඩෙන සමාහිත බව
විපස්සනාවෙන් වැඩෙන සිහිය සහ උපේක්ෂාව
මතක ශක්තියට ආධාරකයි.

තැන්පත් තොරතුරු මත තර්ක කිරීමෙන්
නව තොරතුරු නිර්මාණය කරගන්නට
මිනිස් සිතට හැකියාව තිබුණත්
ඒ නව දැනුමත් ප්‍රඥාව නොවෙයි.
ඉල්ලා ගත් වචන තමන්ගෙ වචන සමග
සංසර්ගයට බඳුන් කිරීමෙන්
ප්‍රඥාව උපදින්නෙ නැහැ.

බොහෝ විට තර්කයෙන් උපදින්නෙ
මිථ්‍යා දෘෂ්ඨීන් පමණයි.
තමන්ගෙ දැනුමෙන් තර්ක කරමින්
දුර්වල මිථ්‍යා දෘෂ්ඨි සකස් කරන
දුර්වල තර්ක ශක්තියක් ඇති මිනිසුන්
ප්‍රබල තර්ක ශක්තියක් ඇති අය ළඟ
දැපනෙ වැටෙනවා.

ඔහු සෝවාන් ආදී මග ඵල ලැබූවෙක්
බුදුවරයෙක් කියා ඔහුට රැවටෙනවා.
ප්‍රඥාවන්තයාට මිසදිටු බව පෙනෙනනවා.
ගින්නට වරක් පිළිස්සුණ ළදරුවෙකුට
ගින්නට කවදාවත් නොපිළිස්සුණ
මහාචාර්ය වරයාගෙ බොරුව හැඟෙනවා.
ලෝකය මහාචාර්යවරයා පසු පස යද්දී
ළදරුවා තමන්ගෙ මග ගමන් කරනවා.

තමන් නොවිඳින දේ ගැන
පොත්පත් හදාරා, දේශන අසා
මතක ශක්තියෙන් මනස කුරුවල් කර ගැනීම
වෙනම කරුණක්.

අපි එදිනෙදා ලබන අත්දැකීම වලිනුත්
අපි පාඩම ඉගෙන නොගන්නෙ ඇයි.?
සුරාවට, සූදුවට, කාමයට ලොල්වෙන
සමස්ත මිනිස් සමාජයම
තමන් විඳින දුක් කරදර වලින්
ප්‍රඥාව නොලබන්නෙ ඇයි?

ප්‍රිය අප්‍රිය දෙක හෝ නොසලකා හැරීම නිසා
අපි දකින දේවල් නියමාකාරයෙන් පෙනෙන්නෙ නෑ.
ප්‍රිය දේ සුඛ විදියටත්
අප්‍රිය දේ දුක්ඛ විදියටත්
නොසලකා හරින දේ අදුක්ඛම අසුඛ ලෙසත් 
අපි සලකන නිසා
සංස්කාර හැදෙනවා.

සංස්කාර වලින් අපේ දැක්ම විකෘති කරනවා.
අපි දකින්නෙ ඇත්ත නොවෙයි.
අපේ ප්‍රිය අප්‍රිය බවට සාපේක්ෂ
විකෘති සත්‍යයක් අපි දකිනවා.

අපි සුඛ වශයෙන් දකින ප්‍රිය දේ ළං කරගන්නත්
අපි දුක්ඛ වශයෙන් දකින අප්‍රිය දේ ඈත් කරන්නත්
දවස පුරා උත්සාහ කරන අපට
ඇත්ත නොවෙයි පෙනෙන්නෙ.

අපි සුඛ කියා හඳුනාගන්න දෙයින් දුකත්
දුක් වශයෙන් ගන්න දේ තුලින් සැපත්
ලැබෙන්න පුලුවන්.

අපි දුක සැප විඳින්නෙ
ඒ විඳින මොහොතට සාපේක්ෂවයි.
ඒ මොහොත උණුසුම් නම්
කයට දුක් දෙන අයිස්ක්‍රීම් එක අපිට ප්‍රියයි.
ඒ මොහොත සීතල නම්
කයට දුක් දෙන උණු තේ එක අපිට ප්‍රියයි.

සීතල ප්‍රදේශයකදි අයිස්ක්‍රීම් අප්‍රියයි.
උෂ්ණ ප්‍රදේශයකදි උණුවෙන් තේ අප්‍රියයි.

කයට සාපේක්ෂව
එකම තාපයෙ උශ්ණත්ව පරාස දෙකක්.
මිනිසා ඒ දෙක අවස්ථානුකූලව
ප්‍රිය අප්‍රිය විදියට
විඥාණයෙ සටහන් කරගන්නවා.

සැප කියන්නෙ
අපි විඳින මොහොතට සාපේක්ෂව
එකම දුකක අපි ප්‍රිය කරන පරාසය බව
ප්‍රඥාවන්තයාට වැටහෙනවා.

සැප නොලැබීමත් දුකට පත් වීමත් නිසා
විඥාණයෙන් කෙලෙස් මතු වෙන විට
මිනිසා දුකට පත් වෙනවා.
ඔහු දොස් නගන්නේ බාහිර ලෝකයටයි.
ගැටලුවට මුල් වන්නේ ඔහුගේම කෙලෙස් බව
ඔහුට හඳුනාගන්නට බැහැ.


කෙලෙස් ඇවිස්සීම නිසා
ආවේගශීලී වන මිනිසාගෙ දැක්ම
ඇවිස්සුණ කෙලෙස් වලින් අඳුරු වෙනවා.
ඔහු පාපයට, ත්‍රස්තවාදයට,
අපරාධවලට පෙළඹෙනවා.
මේ බව තේරුම් ගෙන සීලය වඩන්නා
ගැටලුවට මුල් වන්නේ ඔහුගේම කෙලෙස් බව දකින ඔහු
සමාධිය සොයන්න පටන් ගන්නවා.

සමථ භාවනා වඩන කෙනෙකුගෙ
සමාධිය වැඩෙද්දි
රාග ද්වේශ මෝහ කෙළෙස්
විඥාණය තුළ තැන්පත් වෙනවා.
මතකය, තර්කනය, කළමනාකරණය වැනි
දක්ෂතා වැඩෙනවා.
ඔහුගෙ ප්‍රඥාව වැඩෙන්නෙ නැහැ.
අපට අවශ්‍ය සත්‍ය තොරතුරු
ප්‍රඥාව ලෙස ඉතිරි වෙනවා.

විපස්සනා වඩා
විඥාණයෙන් කෙළෙස් ඉවත් කිරීමෙන්
ප්‍රඥාව ඉතිරිවෙනවා.

කෙළෙස් නිසා ප්‍රඥාව අඩු වැඩි වෙනවා.
ලබා තියන අත්දැකීම් ප්‍රමාණය අනුව
ප්‍රඥාව අඩු වැඩි වෙනවා.

සම්මා සම්බුද්ධත්වය සඳහා
හැම බෝසත් කෙනෙක්ම
දීර්ඝ කාලීනව සසරෙ වෙසෙමින්
පාරමී පුරනවා.
ශ්‍රාවක බුදු වරු සහ පසේ බුදු වරු
සසර වසන කාලය අඩුයි.
ඒ නිසා ප්‍රඥාවත් අඩුයි.
කෙලෙස් සපුරා නැසෙන නිසා
නිවන එකයි.

ඒ හැම කෙනෙක්ම අවසාන ජීවිතයෙදි
විපස්සනා වඩා සව් කෙලෙසුන් නසා
විඥාණයෙ තැන්පත් වෙලා තියන
සසර රැස් කරගත් ප්‍රඥාව
නිදහස් කරගන්නවා.