20140418

සිහියෙන් හා උපේක්ෂාවෙන් විසීම අවිද්‍යාව නිරෝධ වීමට හේතුයි.




අවිද්‍යාව ගැන විමසා බලන්න
අද උදේ පොඩි දෙන්නා සමග එකතු වුණා.

මේ එහිදී මතු වූ වැදගත් කරුණු.

අපි දෙයක් ගැන සැලකිලිමත් වෙන්නෙ
ඒ දේ අපිට ප්‍රිය හෝ අප්‍රිය නම් විතරයි.

ප්‍රියත් නැති අප්‍රියත් නැති දේ
අපිට දැනෙන්නෙ නැහැ.


ප්‍රිය දේත්
අපිට නොදැනෙන වෙලාවක් තියනවා.
සමහර වෙලාවට
අපි ආස රස කෑමක් කාල ඉවර වුණාම
කෑවෙ නැහැ වගේ හිතෙනවා.
දෝණි කියන්නෙ
අපි වෙන කම්පනාවක ඉන්න නිසා කියලයි..
( වෙන කල්පනාවක කියල දන්නවා නම්
වචනය වැරදුනාට කමක් නැහැ. )

කෑම  අපිට නොදැනෙන්න
වෙන කල්පනාවක් හැරෙන්න
තවත් හේතුවක් තියනවා.
සමහර කෑම මුල ඉඳලම රස නැහැ.

කෑම දැනෙන්නෙ රස නම් විතරද?....
තිත්ත රස වුණත් කෑම දැනෙනවා.

රස නැති වුණත් කන්නෙ බඩගින්නට...
අපි කන්නෙ ඇඟට ඕන නිසා..
රස ඉල්ලන්නෙ හිත...

අපි මේ තොරතුරු
පංචස්කන්ධයට යොදන්න හිතුවා.
ඵස්ස, සුළඟ ගෑවෙනවා..
වේදනා, සීතල සැප වේදනාවක් ඇතිවෙනවා,
සංඥා, සුළඟ ලෙස හඳුනා ගන්නවා,
සංඛාර, ප්‍රිය අප්‍රිය වශයෙන් බෙදනවා.
විඥ්ඥාණ, "සීතල සුළඟ ප්‍රියයි" ලියාගන්නවා.

අපට  රස දැනෙන්නෙ
ප්‍රිය අප්‍රිය කියල බෙදෙන තැනදි බව
අපිට පෙනෙනවා.
ප්‍රිය හෝ අප්‍රිය නැත්නම්
මුලු අත්දැකීමම අපි දන්නෙ නැහැ.

ගෑවෙනවා අපි දන්නෙ නැහැ.
වේදනාව ඇතිවෙනවා අපි දන්නෙ නැහැ,
හඳුනාගන්නවා අපි දන්නෙ නැහැ.
අත්දැකීම
ප්‍රිය හෝ අප්‍රිය නම් විතරයි අපිට සිහිය එන්නෙ.

බුදුන් වහන්සෙ
පංචස්කන්ධයෙදි
සංඛාර හා විඥ්ඥාණ ඇතිවෙන්නට
මූලික අවස්ථා තුනක් කියනවා.

පටිච්ච සමුප්පාදයෙදි
සංඛාර හා විඥ්ඥාණ වලට හේතුව ලෙස
මේ අවස්ථා තුන වෙනුවට
අවිද්‍යාව කියල යොදලා තියනවා.

මේ අවස්ථා තුනේදි
සිහියෙන් හා උපේක්ෂාවෙන් තොරවීම
සංඛාරත් විඥ්ඥාණත් ඇති වීමට හේතුයි.
2014 04 18
=================================

ඵස්ස, ගෑවෙනවා..
වේදනා, වේදනාවක් ඇතිවෙනවා,
සංඥා, හඳුනා ගන්නවා,
මේ අවස්ථා තුනේදි
සිහියෙන් හා උපේක්ෂාවෙන් විසීම
අවිද්‍යාව නිරෝධ වීමට
සංඛාරත් විඥ්ඥාණත් ඇති නොවීමට හේතුයි.

විදර්ශනාවෙන්
අවිද්‍යාව ප්‍රහීණ වෙයි.

-අංගුත්තර නිකාය – දුක නිපාතය -බාල වග්ග තතියො
=================================

මේ අපේ දීර්ඝ සංවාදයක සාරාංශයක්..
මම ඒ සංවාද වැදගත්කම අනුව
සටහන් තබා ගන්නවා.
පසුව පළකිරීමට බලාපොරොත්තු වෙනවා.

20140417

රූපය හුස්ම ගනිද්දි නාමය දන්නෙ නෑ.



අද පොඩි දෙන්නා එක්ක
නාම-රූප ගැන විමසුවා.
අපි මුලින්ම බැලුවා මලමිණියකත්
පණ තියන කෙනෙකුත් අතර වෙනස.

හුස්ම ගැනීම, ආහාර ගැනීම,
දිවීම ආදී දේවල් සලකා බලල
අපි තේරුම් ගත්තා...
මලමිණිය ක්‍රියා කරන්නෙ නැහැ.
පණ තියන කෙනෙක් ක්‍රියා කරනවා.

පණ තියන කෙනෙක් වුණත්
ක්‍රියා නොකරන වෙලාවක් තමයි,
ඔහු නිදාගන්න වෙලාව.

හීන දකින වෙලාවට
හිත ටිකක් වැඩ කරනවා කියලා
පුතා කිව්වා.

නින්ද ගියාම ඇස් කන් වැඩ කරන්නෙ නෑ.
ඒත් නහය වැඩ කරනවා.
නහය හුස්ම ගන්නවා...
ඒත් සුවඳ විඳින්නෙ නෑ.

හුස්ම ගන්න එක අපි දන්නෙ නෑ.
අපි හිතල කරන දේකුත් නෙමෙයි.
හිතල පාලනය කරන්න පුලුවන්,
හුස්ම ගන්නෙ නහය තුළින් වුණාට
ඇත්තටම හුස්ම ගන්නෙ පෙණහළු මගින්.

අවදියෙන් ඉන්න වෙලාවටත්
හුස්ම ගන්න බව අපට දැනෙන්නෙ නෑ.
ඒ විදියට බැලුවාම
අපි අවදියෙන් ඉන්න වෙලාවටත්
නින්දක ඉන්නවා වගෙයි.

අවදියෙන් ඉන්න වෙලාවටත්
හුස්ම දැනෙන කෙනෙක් ඉන්නවා නම්
ඔහුගෙ පණ තියන ගතිය වැඩියි.

සමහර පණ තියන අයගෙත්
මැරුණ ගතිය වැඩියි..
කවුද ඒ කියල ඇහුවම
පුතා කිව්වා බොන අය කියල.

මේ ඔවුන්ගෙන් අහපු
ප්‍රශ්න තුනකට ලැබුණ පිළිතුරු.

1, හුස්ම දැනෙන කෙනාත්,
හුස්ම නොදැනෙන කෙනාත්,
මලමිණියත් අතරෙ බැලුවොත්
පණ තියන ගතිය අඩුම කෙනා කවුද?
පුතා = මලමිණිය.

2, පණ තියන ගතිය වැඩිම කෙනා කවුද?
හුස්ම ගැන සිහියෙන් ඉන්න කෙනා.

3, අනික් කෙනා ගැන මොකද කියන්න පුලුවන්.
පුතා = එයා මැරිල වගේ ඉන්නෙ.

එයින් මෙතනට සම්බන්ධ වුණා.
අප්පමාදෝ අමතපදං
පමාදෝ මච්චුනෝ පදං

ඉරියව්වක් වෙනස් වෙද්දි
අපි දන්නෙ නෑ.

දෙයක් වෙද්දි එතන නැති කෙනා
ප්‍රමාදයි.
ඔහු හැසිරෙන්නෙ මලමිණියක් වගේ.

අප්‍රමාදය නොමැරුණ කෙනෙකුගෙ ස්වභාවය..
ප්‍රමාදය මලමිණියක ස්වභාවය.

මලමිණියකට හිතක් නෑ.
ඇඟක් විතරයි තියෙන්නෙ.
පණ තියන කෙනෙකුට
හිතත් ඇඟක් දෙකක් තියනවා.

බුදුන් වහන්සෙ මේ දෙක නම් කරන්නෙ
නාම-රූප කියලා.

රූපය හුස්ම ගනිද්දි
නාමය දන්නෙ නෑ.
රූපය හුස්ම ගනිද්දි නාමය දන්නවා නම්
නාම රූප දෙක එකක් විදියට ක්‍රියා කරනවා.

රහත් වුණ කෙනෙක් කොහොමද..
පුතා = නාමට සිහිය තියනවා.
හොඳට බලන් ඉන්නවා
රූප හුස්ම ගන්න විදිය.

17 04 2014

20140416

පංචස්කන්ධය සහ වේදනා වර්ග තුන



මේ දවස් ටිකේම
පොඩි දෙන්නත් එක්ක එකතු වෙලා
ඵස්ස වේදනා සංඥා සංඛාර විඥ්ඥාණ
පිළිබඳව හැදෑරුවා.
පුතාට පහම  පැහැදිලි කරන්න පුලුවන්..
දෝණිට උදව් කලාම පුලුවන්..

අද,
වේදනා වර්ග තුන ගැන කියද්දි
සීතල තමයි අත්දැකීම ලෙස ගත්තෙ.
පුතාලට පංචස්කන්ධය කියල දුන්නෙ
රසට අදාළවයි..
පුතාට පංචස්කන්ධය
පැහැදිලි කරන්න කිව්වම
ඔහු පැහැදිලි කලේ
අද කතා කළ සීතලට අදාළවයි.

ඵස්ස, සුළඟ ගෑවෙනවා..
වේදනා, සැප වේදනාවක් ඇතිවෙනවා,
සංඥා, සීතල සුළඟ ලෙස හඳුනා ගන්නවා,
සංඛාර, ප්‍රිය අප්‍රිය වශයෙන් බෙදනවා.
විඥ්ඥාණ, "සීතල සුළඟ ප්‍රියයි" ලියාගන්නවා.

අද සංවාදයෙදි මතු වූ වැදගත් කරුණු කීපයක්.
1, රස්නෙ වෙලාවට සීතල ප්‍රියයි.
සීතල වෙලාවට සීතල අප්‍රියයි.

2, ඇතුලෙ රස්නෙ තියෙද්දි පිට සීතල තියනවා.

3, කයට දැනෙන්නෙ වේදනා.
සුඛ, දුක්ඛ, අදුක්ඛමසුඛ  වේදනා.
ප්‍රිය අප්‍රිය දැනෙන්නෙ සිතටයි.
සුඛ වේදනා ප්‍රියයි.
දුක්ඛ වේදනා අප්‍රියයි.
අදුක්ඛමසුඛ දැනෙන්නෙ නැහැ.

4, ඇතුලෙ රස්නය ගැන
සිහියෙන් ඉන්න කෙනා
දුක් විඳිනවා.
පිටත සීතල ගැන
සිහියෙන් ඉන්න කෙනා
සැපෙන් ඉන්නවා.
සිහිය සම්පූර්ණ කෙනා
ඇතුළත අත්දැකීමත්
පිටත අත්දැකීමත්
දෙකම විඳිනවා.
ඔහු සම්පජානෝ සතියෙන් ඉන්නවා.

අද සංවාදයෙදි
ඔවුන් වේදනා වර්ග තුන හඳුනාගත්තා,
සුඛ, දුක්ඛ, අදුක්ඛමසුඛ  වේදනා.

අද අපි උදෙ 6 සිට පැය දෙකහමාරක්
වේදනා ගැන සංවාද කළා.
දවස පුරාත් වරින්වර
මේ කරුණු වලට අදාළව
ඔවුන් කතා කරනවා.
ප්‍රශ්න ඇහුවොත් පිළිතුරු දෙනවා.

සබ්බ රසං ධම්ම රසං ජිනාති
කියන්නෙ කොයි තරම් ප්‍රබල සත්‍යයක්ද?


20140413

පටිච්ච සමුප්පාදය



අද මම පුතාටත් දෝණිටත්
පටිච්ච සමුප්පාදය හඳුන්වාදෙන්න පටන්ගත්තා.
එක වරක් පටිච්ච සමුප්පාදය කිව්වාම
ඔවුන් "අම්මෝ" කිව්වා.

වර්ග ගොඩක් තිබුණට
එකින් එකට යනකොට අමාරු නැහැ.

මිදුලෙ තියන එඬරු ගහ
ඔවුන් හොඳින් දන්නවා.
එඬරු ඇටයකින් මොකක්ද ඇති වෙන්නෙ?
එඬරු ගහක් ඇති වෙනවා.
එඬරු ගහෙන් ඇති වෙන්නෙ මොනවද?
එඬරු ගෙඩි ඇති වෙනවා.
නෑ ඊට කලින් ඇතිවෙන්නෙ මොනවද?
ඊට කලින් එඬරු මල් ඇති වෙනවා.
මල්වලින් ගෙඩි ඇති වෙනවා.
එඬරු ඇටෙන් එඬරු ගහ.
ගහෙන් මල්
මල්වලින් ගෙඩි
ගෙඩි වලින් ඇට...

පටිච්ච සමුප්පාදයත් මේ වගෙයි.

පුතාට දැන් පංචස්කන්ධය
පාලි වචන පිළිවෙලින් මතකයි.

ස්පර්ශ
දැනීම
හඳුනාගැනීම
වර්ග කිරීම
වර්ගය ලියා ගැනීම
කෙටියෙන් කියන්න පුලුවන්.
දෝණි වචන ටික දන්නවා.
පිළිවෙල වරදිනවා.

අපි වැලි තලප කනවා.
1, වැලිතලප මුවෙහි ස්පර්ශ වෙනවා.

2, වැලිතලප මුවෙහි ස්පර්ශ වෙද්දි
වැලිතලපවලට ආවේණික වූ
ගුණාංග රැසක් තියනවා.
ඒ ගුණාංග රැස අනුව
අපේ මුවෙහි විවිධ වේදනා
මිශ්‍රණයක් ඇති වෙනවා.

3, ඒ විවිධ වේදනා මිශ්‍රණය
වැලි තලප කියල
අපි හඳුන්වනවා.

4, අපි වැලි තලප කියා හඳුන්වන
මේ වේදනා මිශ්‍රණයට
අපි කැමති වෙනවා.
නැත්නම් අකමැති වෙනවා.
නැත්නම් ඒ දෙකම නැති
මැදහත් බවක් ඇති වෙනවා.

5, මේ වර්ගීකරණ තොරතුර
වැලි තලප රසයි වශයෙන්
ලියා ගන්නවා.

ඊළඟ දවසෙ
ආයෙමත් වැලිතලප කනකොට
මේ අත්දැකීම අනුව
රස වැලිතලප කන්න අපි හිතනවා.
එදාට අපිට ලැබුණ වැලි තලප
රස නැත්නම් අපිට ගැටළු ඇතිවෙනවා.

මම පොඩි දෙන්නගෙන් ඇහුවා
අද වැලි තලප රසයි
හෙට වැලිතලප පිච්චිලා නම්
අපිට මොනවද තේරෙන්නෙ කියලා.
මගේ හිතේ තියන පිළිතුර
වෙනස්වීම..
වැලිතලප දවසින් දවසට වෙනස්..

දෝණි කිවා
රස නම් කනවා.. නැත්නම් නොකා ඉන්නවා, කියලා.
ඇය එහෙම තමයි.

පුතා කිව්වා,
උපේක්ෂාව තියෙන්න ඕන කියලා.

උපේක්ෂාව තියන කෙනෙක් මොනවද කරන්නෙ.
රස වුණත් නැතත් කනවා කියලා.
පුංචි කාලෙ ඉඳලම පුතාගෙ හැටි එහෙමයි..
දෝණිට කාමච්ඡන්ද කියල පුතා කිව්වා.
මම හිනාවුණා.
දෝණිට ලැජ්ජ හිතුණා.
දැන් දෝණිට තියෙන්නෙ මොනවද?
ව්‍යාපාද..

-------------------------------------------

පංචස්කන්ධයත්
පටිච්ච සමුප්පාදයත් අතර
පැහැදිලි සම්බන්ධයක් තියනවා.

ස්පර්ශ
වේදනා
සංඥා
සංඛාර
විඥ්ඥාණ

අවිද්‍යා
සංඛාර
විඥ්ඥාණ

මේ රටා දෙක සැසඳුවාම
අවිද්‍යාව පවතින්නෙ
ස්පර්ශ
වේදනා
සංඥා අවස්ථා තුනේදියි.

මේ සම්බන්ධය මතු කරගන්න
ඉදිරි දිනවල උත්සාහ කළ යුතුයි.