20130203

සරල විදසුන 01





අපි ජීවත් වෙන්නෙ
අපේ කයත් සිතත්
ක්‍රියා කරන තුරු විතරයි.

කයත් සිතත් ක්‍රියා කිරීම නැවතුණාම
අපි මැරෙනවා.

 කල්ගත වෙලා
අපි වයසට ගිහින්
අපේ සිතත් කයත් හොඳටම පරණ වුණාම
අපි මැරෙනවා.

ලෙඩක් හැදිලා සුව නොවුණොත්
අපි මැරෙනවා.

වාහනයක හැපුණොත්, වතුරෙ ගිලුණොත්
අපි මැරෙනවා.

කෑම නැතුව, වතුර නැතුව
ගොඩක් දවස් හිටියොත් මැරෙනවා.

කවුරු හරි පිහියකින්, කැත්තකින් අපිව කපලා,
අපිට වෙඩි තියලා
ගොඩාක් ලේ ගියොත් අපි මැරෙනවා.

කවුරු හරි අපේ හුස්ම හිරවෙන තුරු
බෙල්ල මිරිකගෙන හිටියොත් මැරෙනවා.

කාලයක් තිස්සෙ මත්පැන් බිව්වොත්
අක්මාව දියවෙලා මැරෙනවා.
වස විස කැවුණොත් මැරෙනවා.
හෘදය වස්තුව දුර්වල වෙලා නැවතුණොත් මැරෙනවා.

සුව නොවෙන පිළිකාවක් හැදුණොත් මැරෙනවා.

සුනාමියක්, භූමි කම්පාවක් ඇවිත් මැරෙන්න පුලුවන්.

ලොකු උසකින් වැටුණොත් මැරෙනවා.

ගින්නකට අහු වුණොත් පිළිස්සිලා මැරෙනවා.

කෙනෙක් මැරෙන්නෙ කයට සිදු වෙන දෙයින්.
ඒත් කලාතුරකින්, දුර්වල හෘදය වස්තුවක් තියන කෙනෙකුඅට
ලොකු දුකක්, තරහක්, බයක්, සතුටක් හිතට ආවිත්
හෘදය වස්තුව නැවතිලා මැරෙන වෙලාවල් තියනවා.

කොයි වෙලාවෙ උණත් ජීවිතය
මරණයෙන් කෙළවර වෙන්න පුලුවන්.

මරණයට පත් නොවී, ලෙඩරෝග හැදෙන්නෙ නැතුව,
ලෙඩරෝග හැදුණොත් සුව කර ගනිමින්,
අනතුරු නොවෙන්න රැකගනිමින්
ස්වාභාවිකව මැරෙන තුරු ජීවිතය පවත්වා ගැනීම
අපේ ස්වාභාවික වගකීමක් සහ කැමැත්තක්.

කය මරණයෙන් ආරක්ෂා කරගන්න
කයෙහි ක්‍රියාකාරිත්වයට අවශ්‍ය පෝෂණය ලබා දෙන්න
ඒ සඳහා අවශ්‍ය තැන් සොයාගන්න හිත අපිට උපකාර වෙනව.

අපේ ජීවිතය ආරක්ෂාකරගන්න
අපි තුලත් අප අවටත් සිදුවෙන
ලොකු කුඩා වෙනස්කම්
හිතට දැනෙන්න ඕන.
හිතට මුලු කයම දැනෙනවා.
ඒත් හිත වැඩියෙන්ම ක්‍රියාත්මක වෙන්නෙ
මොළය මගිනුයි.

අවට පරිසරයෙ සීතල වැඩි වෙනකොට
ඒ අනුව කය වෙනස් වෙනවා.
ඒ වෙනස ස්නායු වල සිදුවෙන වෙනස් කම් මගින්
මොළයට දැනෙනවා.
සීතල නිසා ස්නායු වල සිදුවෙන වෙනස
කයෙහි ඇතිවෙන වේදනාවක් විදියට
හිත හඳුනාගන්නවා.
ඒ වේදනාවට අපි සීතල කියලා කියනවා.
අව්වෙ ඉන්නකොට දැනෙන වේදනාවට
අපි කියන්නෙ උණුසුම කියල.
ඒ හඳුනා ගැනීමට අනුව
මොළය ක්‍රියා කරලා
කයෙහි උණුසුම අඩු වැඩි කරමින්
ශරීරයෙ උශ්ණත්වය
නිශ්‍චිත අංශකයක
පවත්වාගන්නවා.

අවට පරිසරය හඳුනා ගන්නත්
ඒ පරිසරය තුළ ආරක්ෂාවෙලා ඉන්නත්
අවශ්‍ය දේ සපයා ගන්නත්
අපට ආධාර වෙන
තවත් අංග කිහිපයක් තියනවා.

ඇසට රූපයක් වැටුණාම
ඇසේ ඇඳෙන රූපයෙන් ඇතිකරන
විවිධ වේදනා ඇසුරෙන්
අපි රූප දකිනවා, රූපවල වර්ණ දකිනවා,
හැඩතල, ප්‍රමාණය දැන ගන්නවා.

කණට ඇතුල්වෙන ශබ්දයෙන් ඇතිවෙන වේදනාවට
අපි කියන්නෙ ඇහෙනවා කියලා.
ශබ්දයේ තියුණු බව, තාලය, රිද්මය
ඒ වේදනාව ඇසුරෙන් අපිට දැනෙනවා.
ඒ ශබ්දය මගින් හඳුන්වන බව
අපි දන්න යමක් තියනවා නම්
ශබ්දය ඇසුරෙන් අපි ඒ දේ ත් හිතාගන්නවා.

නාසයට දැනෙන සුවඳ
අපිට තොරතුරු ලබාදෙන තවත් වේදනාවක්.

කයෙහි ක්‍රියාකාරිත්වයත්, පෝෂනයත්, පැවැත්මත්
බොහෝ දුරට රඳා පවතින්නෙ
දිවට දැනෙන වේදනා හඳුනා ගැනීම මතයි.
දිවෙහි සිදු වෙන වෙනස් කම් නිසා
දිවේ ඇතිවෙන වේදනා ඇසුරෙන්
අපි රස, උෂ්ණත්වය, දළ-මුදු බව, ඝන-ද්‍රව වෙනස
ආදිය මගින් ආහාර හඳුනා ගන්නවා.
මේ ක්‍රියාවට ඇසෙත් නාසයෙත්
සමහර විට කණෙත්
ඇතිවෙන වේදනා ආධාර වෙනවා.

මෙතෙක් ගතකළ ජීවිතය තුළ
සිදු වූ දේවල් වල මතක සටහන්
අපි තුළ තැන්පත් වෙලා තියනව.
කයෙන් බැහැර හෝ
කය තුළ සිදුවෙන වෙනස්කම් නිසා
ඒ මතක සටහන් කැලැත්තිලා
ස්නායු සහ මොළය ක්‍රියාකාරී වෙලා
කයෙහි ඇතිවෙන වෙදනා නිසා
හැඟීම් සහ සිතුවිලි ඇතිවෙනවා.

අපි ජීවිතය ගත කරද්දි
අපිට ඒ සඳහා ආධාර වෙන
උපාංග හතරක් අපි දන්නවා.

1, කය
2, වේදනා [ කයෙහි වෙන වෙනස්වීම් ]
3, සිත
4, හැඟීම් හා සිතුවිලි [ සිතෙහි වෙන වෙනස්වීම් ]

මේ හතරට පිටින් සිදුවෙන කිසිම දෙයක්
අපට දැනෙන අපි විඳින ජීවිතය තුළ නැහැ.

මේ අංග හතර වැරදි විදියට හානිකර විදියට
භාවිතා වෙන විදියත් එහෙම වෙන්න හේතුත්
අනික් දවසෙ බලමු.

සරල විදසුන ගැන...






විදර්ශනාව ඇතුළත් වෙන
සතර සතිපට්ඨානය
බුදු දහම තුළ තියන අගනාම අංගයයි.

ආශ්වාස ප්‍රශ්වාසය, ඉරියව්ව වගේ
ඉතාම සරල තලයෙහි සිට
චතුරාර්ය සත්‍යය දක්වා
සිහිය දියුණු කරන්නට
කයත් නිර්වාණයත් අතර
සම්පූර්ණ ගමන්මග,
නිවනට ඇති
එකායන මාර්ගය ලෙස නම් කරමින්
බුදුන් වහන්සේ දේශනා කළේ
මහා සතිපට්ඨාන සූත්‍රය මගින්.

අපි සිහිය පිහිටුවා ගතයුතු
අංග හතර පිළිබඳ
සරල හැඳින්වීමක් .....

සරල විදසුන 01


20130117

මිථ්‍යා දෘෂ්ඨි වලට අහුවුණොත් ගැලවීමක් නැහැ.

 


අපි ජීවත් වෙද්දි
අපි ගතකරන ජීවිතයෙන්
වැඩි ප්‍රමාණයක්
අපි ගත කරන්නෙ දෘශ්ඨි සමගයි.

දෘෂ්ඨියක් කියන්නෙ දර්ශනයක්.
ඇත්තටම තියන දෙයක් හෝ
ඇත්තටම නැති දෙයක්
තියන දෙයක් මෙන් මැවී පෙනීමයි.

ප්‍රධාන දෘෂ්ඨි වර්ග
දෙකක් තියනවා.

තියන දෙයක් පිළිබඳව
තියනවා කියල ඇතිවෙන දෘෂ්ඨිය
දෘෂ්ඨියක්.
ඒත් ඇත්ත පදනම් වුණ දෘෂ්ඨියක්.

නැති දෙයක් පිළිබඳව
තියනවා කියල ඇතිවෙන දෘෂ්ඨිය
මිථ්‍යා දෘෂ්ඨියක්.
ඒ දෘෂ්ඨිය
බොරුව පදනම් වුණ දෘෂ්ඨියක්.

මගේ අවුරුදු හයේ පුතාට
දෘෂ්ඨි ගැන කියද්දි
පෙන්නුව උදාහරණය ඇසුරෙන්
සලකා බලමු.
--------------------------------------------------------















අපේ ගෙදර උඩ තට්ටුවෙ
වතුර ටැංකියක් තියනවා කියල
මම ඔයාට කියනවා.



ඔයා කැමති
මාළු ටැංකි වලට විතරයි.
ඔයා දැකලා තියෙන
මාළු ටැංකියක් ඔයා හිතේ
මවා ගන්නවා.
ඔයාට ඒකෙ මාලුවෙක් ඉන්න විදිය
මැවිල පේනවා..






වතුර ටැංකියක් තියන බව ඇත්ත.
ඒත් ඒකෙ මාලුවෙක් නෑ.

මම කියන්නෙ බොරු කියල
ඔයා හිතුවොත් ඒක
දෘෂ්ඨියක්.

මම කියන්නෙ ඇත්ත කියල
ඔයා හිතුවොත් ඒකත්
දෘෂ්ඨියක්.



මම කියන ටැංකියවත්
ඔයා හිතේ මවාගත්ත මාළු ටැංකියවත්
ඔයාට ඇත්තටම පෙනෙන්නෙ නැහැ.

ඔයා ඔයාගෙ හිතේ
ලස්සණ මාලුවෙක්
ලස්සණ වීදුරු ටැංකියක්
මවා ගන්නවා.

ඔයා දන්න හැමකෙනෙකුටම
අර ලස්සණ මාළු ටැංකිය
ගැන කියනවා.

සමහරු පිළිගන්නවා.
සමහරු පිළිගන්නෙ නෑ.

"ආ ඇත්තද?..
ෂා නියමයි" කියලා
ඔයාගෙ දෘෂ්ඨිය
ඉස් මුදුනෙන් පිළිගන්න අයට
ඔයා හරි කැමතියි.

"අනේ බොරු කියන්න එපා" කියල
ඔයාගෙ දෘෂ්ඨිය නොපිළිගන්න අය
ඔයාට පෙන්නන්න බැහැ.

ඔයා අනුන්ගෙ කතා මත
යැපෙන්නෙ නැති
නිදහස්ව හිතන කෙනෙක් නම්
දවසක ඔයාටම හිතෙනවා,
විමසලා බලන්න ඕනෙ කියල.

ඔයා පාර අහගෙන
පඩිපෙළ නැගලා ගිහින් බලනවා.

ඔයාට ඇත්ත
ඇති විදියට පෙනෙනවා.

ටැංකියක් තියනවා.
ඒත් ඒක මාළු ටැංකියක් නෙමෙයි.
තමන්ම ගිහින් බැලුවාම
ඔයාට ඇත්ත තේරෙනවා.

ඔයාගෙ මාන්නය බිඳෙනවා.

ඒක දරාගන්න ඔයාට පුලුවන් නම්
ඔයාගෙ වෙනසක් වෙනවා.
ඉන් පස්සෙ ඔයා කවුරුවත් කියන
දෙයක් විශ්වාස කරන්නෙ නෑ.
අවිශ්වාස කරන්නෙත් නෑ
සොයලා බලනවා.

එදාට ඒ පෙනෙන ඇත්ත පිළි නොගෙන
ඔයාගෙ දෘෂ්ඨියෙම එල්ලිලා ඉන්නත්
ඔයාට පුලුවන්.

"නෑ නෑ.. වෙන්න බෑ.
මෙතන තියෙන්න ඇත්තෙ
මාලු ටැංකියක්ම තමයි.
කවුරු හරි ඒක මාරු කරලා..
මම ගියාට පස්සෙ
ආයෙ ගෙනත් තියාවි."

ඊළඟ දවසෙ ඔයා ගිහින්
මාලු ටැංකිය ගැන
අලුත් දහමක් කියාවි.
"ඔබ ගිහින් බලන කොට
එතන මාළු ටැංකියක් නොතිබුණොත්
හිත අධෛර්‍ය කර ගන්න එපා.
කවදා හරි
මාළු ටැංකිය දකින තුරුම
සොයන්න."

මිථ්‍යා දෘෂ්ඨිය තරම්
හානිකර දෙයක් තවත් නැහැ.

බුදුන් වහන්සෙගෙ දහම වුණත්
අහද්දි හිතේ මැවෙන
මිථ්‍යා දෘෂ්ඨි වලට අහුවුණොත්
ගැලවීමක් නැහැ.

බුදු දහම කියන්නෙ
කවුරුවත් කියන දෙයක් අහගෙන ඉඳලා
හිතේ මවා ගන්න රූප ඇසුරෙන්
දකින්න පුලුවන් දෙයක් නෙමෙයි.

තමන් දිහා
සිහියෙන් හා උපේක්ෂාවෙන්
තමන්ම බලා ඉඳල
තමා තුලින්ම
තේරුම් ගතයුතු දහමක්.,

තමන් දිහාබලා ඉන්න විදිය
බුදුන් වහන්සේගෙන්
අසා දැන ගත යුතුයි.

මහා සතිපට්ඨාන සූත්‍රයෙ
ඒ ක්‍රමය සරලව, පිළිවෙලින්
විස්තර කරල තියනවා.

ශ්‍රද්ධාව තියන කෙනෙකුට
වීරය වැඩුවොත්,
සතියත් සමාධියත් වඩා
ප්‍රඥාව දියුණු කරගන්න පුලුවන්.

====================================================


බුදු දහමට අදාළව
-------------------------------------
1, දෘෂ්ඨියක් යනු කුමක්ද.
නැති දෙයක් ඇති ලෙස ඇදහීම..
නැති දෙයක් නැති ලෙස ඇදහීම..
ඇති දෙයක් ඇති ලෙස ඇදහීම..
ඇති දෙයක් නැති ලෙස ඇදහීම..
------------------------------------

2, සම්‍යක් දෘෂ්ඨිය කුමක්ද?
දුක ඇදහීම..
දුකට හේතුව ඇදහීම.
දුක නැති කිරීම ඇදහීම.
දුක නැති කිරීමේ මාර්ගය ඇදහීම.
------------------------------------

3, මිථ්‍යා දෘෂ්ඨිය කුමක්ද?
දුක නැති දෙයක් ලෙස ඇදහීම..
සැප ඇති දෙයක් ලෙස ඇදහීම..
------------------------------------

4, මේ දෙකට අයත් නොවන දැක්ම කුමක්ද?
දුක සැප වශයෙන් 
වෙන් වෙන්ව නොවිඳ
සමස්තයක් ලෙස
මේ මොහොතේ ඇති දේ 
ඇති සැටියෙන් දැකීම..


1, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
කයෙහි කය අනුව දකිමින් විසීම,

2, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[කයෙහි වෙනස් වීම්]
වේද්නා වල වේදනා අනුව දකිමින් විසීම,

3, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
සිතෙහි සිත අනුව දකිමින් විසීම,

4, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[සිතෙහි වෙනස්වීම්]
දහම්හි දහම් අනුව දකිමින් විසීම,
බුදු දහමට අදාළව
-------------------------------------
1, දෘෂ්ඨියක් යනු කුමක්ද.
නැති දෙයක් ඇති ලෙස ඇදහීම..
නැති දෙයක් නැති ලෙස ඇදහීම..
ඇති දෙයක් ඇති ලෙස ඇදහීම..
ඇති දෙයක් නැති ලෙස ඇදහීම..
------------------------------------

2, සම්‍යක් දෘෂ්ඨිය කුමක්ද?
දුක ඇදහීම..
දුකට හේතුව ඇදහීම.
දුක නැති කිරීම ඇදහීම.
දුක නැති කිරීමේ මාර්ගය ඇදහීම.
------------------------------------

3, මිථ්‍යා දෘෂ්ඨිය කුමක්ද?
දුක නැති දෙයක් ලෙස ඇදහීම..
සැප ඇති දෙයක් ලෙස ඇදහීම..
------------------------------------

4, මේ දෙකට අයත් නොවන දැක්ම කුමක්ද?

දුක සැප වශයෙන්
වෙන් වෙන්ව නොවිඳ
සමස්තයක් ලෙස
මේ මොහොතේ ඇති දේ
ඇති සැටියෙන් දැකීම..


1, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
කයෙහි කය අනුව දකිමින් විසීම,

2, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[කයෙහි වෙනස් වීම්]
වේද්නා වල වේදනා අනුව දකිමින් විසීම,

3, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
සිතෙහි සිත අනුව දකිමින් විසීම,

4, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[සිතෙහි වෙනස්වීම්]
දහම්හි දහම් අනුව දකිමින් විසීම,




20121230

දරුවන් අම්මලාගෙ හඬට ආස ඇයි.?

     
 කුඩා දරුවෙකුට හෝ
සුරතල් බලුපැටියෙකුට
කුසගිනි වෙයි.

  කුසගින්න නිසා හඬයි.

ඒ හඬන හඬින්
සිත කම්පා වුණ කාන්තාවක්
"ඇයි, පැටියෝ," කියාගෙන පැමිණ
කුසගින්න නිවන්නට කටයුතු කරන්නීය.



මෙය නැවත නැවත සිදුවන විට
ළදරු සිත මේ රටාවට හුරු වෙයි.

කුසගින්න නැති වෙලාවක වුවද
"පැටියෝ" යන වචනය
සිරුර තුළ ප්‍රිය ජනක වේදනා
උපදවන වචනයක් වෙයි.

"පැටියෝ"කියනු ඇසෙන විටම
ළදරුවාට හෝ බලු පැටියාට
නැති කුසගින්නක් ඇතිවිය හැක.

කුසගින්න ඇති වෙලාවක
ඇසෙන
"පැටියෝ" යන වචනය නිසා
කුසගින්න නොනිවුණත්
සිතට සැනසිල්ලේ සිටිය හැක.

අප අතින් කිසියම් ක්‍රියාවක් සිදුවෙද්දී
ඒ අවස්ථාවෙහි අපට ඇසෙන හඬ මෙන්ම
රූප, රස, සුවඳ හා ස්පර්ෂ නිසා
අප සිතෙහි හා කයෙහි සිදුවෙන වෙනස් කම්
එම අත්දැකීමෙහි කොටසක් ලෙස
අපි විඳින්නෙමු.

ඉන් පසුව එම අත්දැකීමෙන්
ශරීරයෙහි හෝ සිතෙහි සිදු වූ වෙනස්කම් හෝ
එම වෙනස් කම් වලින් කොටසක්
කෘතිමව නිර්මාණය කළොත්
එම අත්දැකීම නිසා
කයෙහි හා සිතෙහි වූ වෙනස්කම්
යම් ප්‍රමාණයක්
නැවත අපතුළ ඇතිවෙයි.

දැන් මේ මොහොතෙහි
බාහිර ලෝකයෙහි සිදුවෙන දෙයින්
ඔබ තුළ වෙනස්කම් සිදුවෙමින් පවතියි.

ශ්වසනය, ආහාර ජීර්ණය,
රුධිර සංසරණය ආදී
කායික ක්‍රියාකාරිත්වයන් නිසාත්
ඔබ තුළ වෙනස් වීම් සිදු වෙයි.

දැන් මේ මොහොතෙහි
ඇතුළත හා බාහිර සිදුවන
වර්තමාන වෙනස්කම් හැර
අප කයෙහි හා සිතෙහි සිදුවන
අන් සියලුම දේ
අප එසේ විඳිනලද අත්දැකීම්වල
ප්‍රතිනිර්මාණයන්ය.

අපි කළ යුතු දේ කරන්නේත්
ප්‍රිය දේ සොයා යන්නේත්
අප්‍රිය දෙයින් ඉවත් වන්නේත්
මේ ක්‍රතෘ විරහිත
ස්වයං ජනනීය ක්‍රියාවලිය ආධාරයෙනි.

බලුපැටියාට හෝ ළදරුවාට
ආහාර දුන් කාන්තාව
"පැටියෝ" කියා ඇමතුවොත්
අර ළදරුවා හෝ බලුපැටියාගේ
කයෙහි හා සිතෙහි සිදුවෙන වෙනස් කම්
පාලනය කළ නොහැක.

කයෙහි හා සිතෙහි සිදුවෙන
වෙනස්කම් දෙකම සිදුවන්නේ ඉබේටය.

දරුවාත්, බලුපැටියාත්
ඔවුනට ප්‍රියවූ
එම ශබ්දයට, රූපයට,
සුවඳට, රසට හා ස්පර්ශයට
වහලෙකි.

රිසි ලෙස හීලෑ කරගන්නට,
තමන්ට රිසි අතක ගෙන යන්නට,
රිසි අයුරින් ප්‍රයෝජන ගන්නට,
රිසි අයුරින් පාලනය කරන්නට,
මෙම ශබ්දයට, රූපයට,
සුවඳට, රසට හා ස්පර්ශයට
හැකියාවක් ඇත.

ඒ හැකියාව ඇත්තේ
අර කාන්තාවට පමණක් නොවේ.

ඇය විසින්
දරුවා හෝ බලු පැටියා තුළ
නිර්මාණය කොට හුරු කළ
ශබ්දයට, රූපයට,
සුවඳට, රසට හා ස්පර්ශයටයි.

ඒ ළදරුවා හෝ බලුපැටියා ඔබ නම්
ඒ ශබ්දය, රූපය, සුවඳ, රස
හා ස්පර්ශය හෝ ඉන් කොටසක්
ප්‍රතිනිර්මාණය කළ හැකි
ඕනෑම කෙනෙකුට, ඕනෑම දෙයකට
ඔබ පාලනය කළ හැක.

ගීතයකට, චලන චිත්‍රයකට,
සිතුවමකට හෝ ඡායාරූපයකට,
සුවඳ විලවුන් වර්ගයකට,
ආහාරයකට එම ක්‍රියාවලිය ඇසුරෙන්
අප උත්තේජනය කරගෙන
කිසියම් මාවතක රැගෙන යන්නට
එම ශබ්දයට, රූපයට,
සුවඳට, රසට හා ස්පර්ශයට
හැකියාවක් ඇත.

මේ ඡායාරූපයේ සිටින
ප්‍රසිද්ධ පුද්ගලයන් ගේ මුහුණු
එකින් එක බලන විට
ඔබ තුළ විවිධ හැඟීම ජනිත වෙයි.

 
 ප්‍රිය ජනක ශබ්දයට, රූපයට,
සුවඳට, රසට හා ස්පර්ශයට ඇති බලයම
අප්‍රිය ජනක ශබ්දයට, රූපයට,
සුවඳට, රසට හා ස්පර්ශයටද ඇත.

ඔබ තුළ සිදුවෙන
ඒ ප්‍රිය අප්‍රිය වෙනස්කම්
ඔබ ඇතිකරගන්නා ඒවාද?
එම හැඟීම් පිළිබඳව
ඔබට පාලනයක් තියනවාද?.

මේ සත්‍යයෙන්
මේ වහල්බවින් ගැලවීමක්
වැඩිහිටි ඔබටවත් තිබේද?

ළදරුවාට හෝ බලුපැටියාට නැති
ආත්ම දමනයක් ඔබට තිබේද?

තිබිය යුතුය.

මින්පසුව ඔබ යම් දෙයක් කරන විට
ඊට හේතුවන ප්‍රිය අප්‍රිය උත්තේජනය
දකින්නට උත්සාහ කරන්න.

20121221

මිනිස්සුන්ගෙයි තිරිසනුන්ගෙයි ලොකු වෙනසක් නැහැ.


 



සුනඛයාට දැනෙන පරාසය සහ
හිතන්නට පුලුවන් පරාසය තුළයි
ඌ ක්‍රියා කරන්නෙ.

ඌට තරහා ආවොත්
කන්න දෙන අත සපා කන්නත්
ඌට පුලුවන්.

මෙතනදිත්
ඌට බැරි බව නොතේරෙන නිසයි
ඌ මේ දේ කරන්නෙ.

තමන් කරන්නෙ මොකක්ද කියල
නොදැන කරන හොඳත්
වටින්නෙ නැහැ.

මිනිස්සුන්ගෙයි තිරිසනුන්ගෙයි
ලොකු වෙනසක් නැහැ.
1, ප්‍රිය අයට හොඳ කරනවා.
2, අප්‍රිය අයට නරක කරනවා.
3, කරන්නෙ මොනවද කියල දන්නෙ නෑ.

මිනිස්සුත් ඔය තුන් විදියටම
ක්‍රියා කරනවා.

මිනිස්සු වෙනස් වෙන්නෙ වෙනත් දේකින්.

සමීපම කෙනෙක් වුණත්
බේරගන්න බැරි බව දන්නවා නම්
නොතැවී ඉන්න පුලුවන්
මිනිසෙකුට විතරයි.

තමන්ට හතුරු කම් කරන
කෙනෙකුට වුණත්
උපකාර වෙන්න වුණාම
තමන්ගෙ ද්වේශය දමනය කරගෙන
උදව් කරන්නත් පුලුවන්
මිනිසෙකුට විතරයි.

තමන්ට දැනෙන්නෙ මොනවද,
තමන්ට හිතෙන්නෙ මොනවද,
තමන් කියන්නෙ මොනවද,
තමන් කරන්න මොනවද කියල
දන්නෙ මිනිසා විතරයි.

ඒ දැනෙන, හිතෙන,
දෙ දැකලා ඒ අනුව
කියන කරන දේ
කළමනාකරනය කරගන්නත් පුලුවන්
මිනිසෙකුට විතරයි.

ඒ මිනිසත් බව
දියුණු කරගන්නෙ
නැති අය තිරිසනුන් මෙන්
ජීවත් වෙනවා.



20121217

ජීවිතය දැනෙන සහ විඳින ආකාර




මේ තියෙන්නෙ
අද 2012 12 17
උදේ  පුතාටත් දෝණිටත් කියා දුන්
පාඩමකින් සකස් කරපු සටහනක්.

ජීවිතය කියන්නෙ වෙනස්වීම් සහ
ඒ වෙනස් වීම් වලට
අපි දක්වන ප්‍රතිචාර වලටයි.

වෙනස් වීම් වර්ග දෙකකි.
1, අපි තුළ සිදුවෙන වෙනස් වීම්. [අජ්ඣත්ත ]
2, අපෙන් පිටත සිදුවෙන වෙනස් වීම්.[ බහිද්ධා ]

ජීවිතය දැනෙන ආකාර දෙකකි.

ජීවිතය දැනෙන ආකාර දෙක නම්
1, ජීවිතය දැනීම [රාග - ද්වේශ - සති+උපේක්ෂා ]
2, ජීවිතය නොදැනීම [ මෝහ ]

ජීවිතය විඳින ආකාර හතරකි.

ජීවිතය විඳින ආකාර හතර නම්
1, කැමැත්තෙන් විඳිනවා [ රාග ]
2, අකමැත්තෙන් විඳිනවා. [ ද්වේශ ]
3, නොදැනෙන නිසා
කැමැත්තෙන් හෝ අකමැත්තෙන් විඳින්නෙ නෑ. [ මෝහ ]
4, දැනෙනවා,
කැමැත්තෙන් හෝ අකමැත්තෙන් විඳින්නෙ නෑ. [ විදසුන ]

අප අවට හෝ
අප තුළ සිදුවෙන වෙනස්වීම්
සියල්ලම අපට දැනෙන්නෙ නැහැ.

අපි තුළත් අපෙන් බාහිරත් සිදුවෙන
සමහර  වෙනස්වීම් අපට දැනෙනවා.

 බොහෝ වෙනස්වීම් පිළිබඳව
සිහියෙන් තොරවීම නිසා
ඒ වෙනස්වීම් අපට දැනෙන්නෙ නැහැ.

අප අවට හෝ
අප තුළ සිදුවෙන වෙනස්වීම්
නොදැනෙන කෙනෙක්
කයින් ප්‍රතිචාරයක් දැක්වුවත්
ඔහු ඒ බව දන්නෙ නැහැ.

දැනෙන සිදු වීම් වලට
අපි ආකාර තුනකින් ක්රියා කරනවා.
එකම ක්‍රියාවක් කරන හතර දෙනෙක්
හතර ආකාරයකට ක්‍රියා කරන්න පුළුවන්.

අපි උදාහරණයක් අරගෙන බලමු.

එක පවුලක අම්මා තාත්තා පුතා
සහ දුව අයිස්ක්‍රීම් කමින් සිටිනවා.
අයිස්ක්‍රීම් දිවේ ගෑවෙන කොට
දිවෙහි වෙනස් වීම් පෙළක් සිදු වෙනවා.

ඔවුන්ගේ දිවේ වෙනස්වීම් හතර ආකාරයි.
1, අයිස්ක්‍රීම් වල සීතල නිසා දිව වෙනස් වෙනවා.
2, අයිස්ක්‍රීම් වල පැණි රස නිසා දිව වෙනස් වෙනවා.
3, අයිස්ක්‍රීම් වල කිරි රස නිසා දිව වෙනස් වෙනවා.
4, අයිස්ක්‍රීම් වල මෘදු හෝ රළු බව නිසා දිව වෙනස් වෙනවා.

අයිස්ක්‍රීම් කමින් ඉන්න
මේ පවුලෙ හතර දෙනාගෙම දිවේ
මේ වෙනස් වීම් හතරම සිදු වෙනවා.
ඔවුන්ගේ දිවේ වෙනස්වීම් වලට
ඔවුන් දක්වන ප්‍රතිචාර හතර ආකාරයි.

1, පුතාට දිවේ සිදු වෙන වෙනස් වීම් දැනෙනවා.
සීතල, පැණි රස, කිරි රස,  මෘදු හෝ රළු බව දැනෙනවා.
පුතා ඒ වෙනස් වීම් වලට කැමතියි. [ රාග ]

2, දුවට දිවේ සිදු වෙන වෙනස් වීම් දැනෙනවා.
සීතල, පැණි රස, කිරි රස,  මෘදු හෝ රළු බව දැනෙනවා.
දුව ඒ වෙනස් වීම් වලට අකැමතියි. [ ද්වේශ ]

3, අම්මාට දිවේ සිදු වෙන වෙනස් වීම් දැනෙන්නෙ නැහැ.
කය අයිස්ක්‍රීම් එක කමින් සිටියාට
ඇගේ සිතින් ඇය ඉන්නෙ
වෙනත් දෙයක් ගැන සිතමින්.
අත්දැකීම නොදැනෙන නිසා
අම්මා ඒ වෙනස් වීම් වලට
කැමතිත් නැහැ. අකමැතිත් නැහැ. [ මෝහ ]

4, තාත්තාට දිවේ සිදු වෙන වෙනස් වීම් දැනෙනවා.
සීතල, පැණි රස, කිරි රස,  මෘදු හෝ රළු බව දැනෙනවා.
ඔහු ඒ වෙනස් වීම් වලට ඇතිවෙන
කැමැත්ත හෝ අකමැත්තත් පෙනෙනවා.
විඳින්නෙ අත්දැකීමක් වශයෙන් පමණයි. [ විදසුන ]

පුතාගෙ සහ දුවගෙ
කය වෙනස් වෙනකොට හිතෙත් වෙනසක් වෙනවා.
කයට දැනෙන දේට කැමැත්ත හෝ අකමැත්ත
ඇති වෙන්නෙ  සිතෙයි. [ රාග ] - [ ද්වේශ ]
කයෙහි හා සිතෙහි දැනෙන දේට
කැමැත්ත හෝ අකමැත්තක්
ඇති වෙනවා [ රාග ] - [ ද්වේශ ]

තුන්වැන්නාගෙ
කය ඒ අත්දැකීම නිසා වෙනස් වුණාට
එයින් හිතේ වෙනසක් වෙන්නෙ නෑ.
තුන්වැන්නාගෙ සිත වෙනත් තැනක නිසා
කයට දැනෙන්නෙ නැහැ.
[ උද්ධච්ච කුක්කුච්ච,
විචිකිච්ඡා, ථිනමිද්ධ ]
කයට නොදැනෙන නිසා
දිවේ සිදුවෙන වෙනස් වීම් වලට
කැමැත්තක් හෝ අකමැත්තක්
ඇති වෙන්නෙ  නැහැ. [ මෝහ ]

හතරවැන්නාගෙ
කය වෙනස් වෙනකොට හිතෙත් වෙනසක් වෙනවා.
කයට දැනෙන දේට කැමැත්ත හෝ අකමැත්ත ඇති වුණාට
විඳින්නෙ අත්දැකීමක් වශයෙන් පමණයි.. [ විදසුන ]

ඔවුන් අයිස්ක්‍රීම් විඳින ආකාර හතර නම්
1, කයෙහි හා සිතෙහි වෙනස් වීම් කැමැත්තෙන් විඳිනවා. [ රාග ]
2, කයෙහි හා සිතෙහි වෙනස් වීම් අකමැත්තෙන් විඳිනවා. [ ද්වේශ ]
3, කයෙහි වෙනස් වීම් නොදැනෙන නිසා
සිතින් විඳින්නෙ නෑ. [ මෝහ ]
4, කයෙහි හා සිතෙහි වෙනස් වීම් දැනෙනවා,
විඳින්නෙ අත්දැකීමක් වශයෙන් පමණයි.. [ විදසුන ]

මේ ආකාර හතරට පිටින්
අපට ජීවිතයේ දැනෙන වෙනස්වීම්
අපි විඳින වෙනත් ආකාරයක් නැහැ.

කැමැත්තෙන් විඳින තැනැත්තාට
ඒ කැමැත්ත නිසා [ රාග ]
නැවත නැවත විඳින්නට
ආසාවක් සිතේ ඇතිවෙනවා. [ කාමඡන්ද ]
අයිස්ක්‍රීම් එක වෙන කෙනෙක් ගත්තොත්
පුතාගේ සතුට දුකට හැරෙනවා.

අකමැත්තෙන් විඳින තැනැත්තාට
ඒ අකමැත්ත නිසා [ ද්වේශ ]
නැවත නැවත නොවිඳින්නට
ආසාවක් ඇතිවෙනවා. [ ව්‍යාපාද ]
අයිස්ක්‍රීම් එක වෙන කෙනෙක් ගත්තොත්
ඔහුගේ දුක සතුටට හැරෙනවා.

වෙනත් කල්පනාවකින් ඉන්න අම්මාට
සිතේ වෙනත් වෙනස් වීම්
[ උද්ධච්ච කුක්කුච්ච,
විචිකිච්ඡා, ථිනමිද්ධ ]
සිදුවෙමින් පවතින නිසා
කයෙහි වෙනස් වීම් දැනෙන්නෙ නැහැ.
ඉවත් කළොත් සිහිය ඇවිත්
අයිස්ක්‍රීම් එක අවශ්‍යද කියල
හිතල බලාවි.

තාත්තාට කයෙහි සිදුවෙන වෙනස් වීම්
සහ ඊට අනුපාතිකව
සිතෙහි ඇතිවෙන වෙනස් වීම් වුණත්
පෙනෙනවා. [ විදසුන ]
ඒ වෙනස් වීම් වලට
ප්‍රතික්‍රියා නොදක්වන නිසා
අයිස්ක්‍රීම් එක ඔහුගෙන් ඉවත් කළත්
ඔහු තුල වෙනස් වීම් නොදැනී යාම හැර
සිතේ වෙනසක් සිදුවෙන්නෙ නැහැ.


20121216

නාම රූප හා චිත්ත රූප




නාම රූප හා චිත්ත රූප

දින දෙක තුනකට පෙර
බිරිඳගේ පාර්ශ්වයේ නෑදෑ පිරිසක්
අපේ ගෙදර නවතින්න ආවා.
පුතා ඒ කණ්ඩායමේ
පිරිමි ළමුන් දෙදෙනෙක් සමග
ගේ පුරා දුවමින් සෙල්ලම් කළා.
දෝණිත් එතන හිටිය
යොවුන් දැරියක් සමග
ඉතාම සමීපව හිටියා.
දෝණි එයින් ලොකු ඒක පාර්ශවික
මානසික සුවයක් වින්ද..

( පුතා ඇවිත් බලල
ලියන්නෙ මේ ගැන කියල දැනගත්තාම
මගෙන් ඇහුවා "ඒක පාර්ශවික"
කියන්න මොකක්ද කියල. )
"ඔයා DVD එකක් ප්ලේ කරනකොට
ඔයා සතුටු වෙනවා..
DVD එක සතුටු වෙන්නෙ නෑ.."
දෝණි හිනාවෙලා කියනවා
""DVD එක මිනිස්සු නෙමෙයිනෙ" කියලා.
ඒකෙදි පුතා විඳින සතුට
ඒක පාර්ශවිකයි..

පුතාගෙ සතුට කායික හා
මානසික යන තල දෙකෙන්ම
වින්ද අත් දැකීමක්.

දෝණිගෙ සතුට
බොහෝ දුරට තනිකරම වගේ
මානසික සතුටක්.
( දෝණි කියනවා
"ඒ ගොල්ලො ගියත් මට සතුටයි"කියලා.
ඒ කියන්නෙ ඒ ගොල්ලො නැති වුණත්
මගේ සතුට මට තියනවා" )
අර යුවතියට විශාල සතුටක් තිබුණෙ නෑ.
ඒත් ඈ හොඳ උත්ප්‍රේරකයක් විදියට
කැමැත්තෙන් ක්‍රියා කළා.

ඔවුන් ආව දවස්වල
පුතා පුංචි කාලෙ එයාට ලැබුලා.. කැඩිලා
බඩු මුට්ටු අතරෙ නැති වෙලා තිබුණ
සවි ශක්තිය අතින් ඉතාම ඉහළ
ඇමෙරිකානු කෙළි බඩුවක
රිද්මයකට හඬ නගන
හදවත වැනි කොටස
ආයෙ මතුවුණා.
ඒක වයින් කළාම
සිඟිති පාසල් වල කියන
"London bridge is falling down "
කියන ළමා ගීයෙ
තනුව වාදනය වෙනව.

අර මුලින් කියූ නෑදෑ පිරිස
ඇවිත් ඉඳිද්දි
දෝණි අර දැරිය ළඟින් ඉඳගෙන
නැවත නැවත ඒ සංගීතය
වාදනය කරමින් වින්දා.
දින දෙකකින් ඔවුන් ආපසු ගියා.
ඔවුන් දෙන්නාම වියෝ දුක
සියුම්ව විඳිනවා මිසක්
හඬා වැලපෙන සිරිතක් නැහැ.
දෝණි නිදා ගත්තා.
පුතා DVD එකක් වාදනය කළා.
පස්සෙ පුතාට ඔවුන් මතක් වෙලා
ඇඬිලා තිබුණා.
දෝණිත් ඇයි අඬන්නෙ කියල අහලා
හේතුව කිව්වාම එයත් අඬාගෙන
අපි ළඟට ආවා.
ඒ වෙලාවෙ දෝණි ආවෙත්
අර සංගීතය වාදනය වෙන
කෙළිබඩුවත් අරන්...

මම ඈට කිව්වා
"අපිටත් එහෙම තමයි..
කට්ටියක් ඉඳල ගියාම දුකයි.
අපි උපේක්ෂාවෙන් ඉන්නවා.
ඔයාට පුලුවන් නම් ...
උපේක්ෂාවෙන් ඉන්න..
බැරි නම් අඬන්න...
කෙල්ලො ඇඬුවට කමක් නෑ" කියලා.

මම අඬන්න කිව්වාම ඇගේ
ඇඬුම නැවතුණා.

අර සංගීතය වාදනය  අසමින්
ඔවුන් රස විඳින්නෙ
ඒ සද්දෙ නෙවෙයි..

ඒ සද්දෙ ඇහෙන කොට
නෑදෑයන් මතක්වීම බව
අපි ඔවුන්ට කිව්වා.

අද උදේ දෝණි නැගිටලා ගිහින්
අර කෙළි බඩුවෙ සංගීතය
වාදනය කරමින් වින්ද.

මම ඈට කතා කරල ඇහුවා
"ඇයි ඔයා ඕක අහන්නෙ" කියලා.
එයා මුලින් කිව්ව දේ මට මතක නැහැ.
ඒක අපැහැදිලි නිසා මම ආයෙත් ඇහුවා
"ඕක දාගෙන ඉන්න කොට
ඔයාට දැනෙන්නෙ මොකක්ද"කියලා.
ඒ වෙලාවෙදි එයා කිව්වා
සචී අක්කා මතක් වෙන නිසා කියල.
දැන් එයාට කතා කරලා
නැවත අහන කොට එයා කියනවා,
"ඒක දාගෙන ඉන්නකොට
සචී අක්ක ඉන්නවා වගේ පේනවා" කියලා.
මම පුතාටත් කතා කරල
දෙන්නගෙන්ම ඇහුවා
"මේක ඇහෙන කොට ඔයාලට දැනෙන්නෙ
සතුටක්ද දුකක්ද?" කියල.
පුතා කිව්වෙ "දුකක්" කියලා.
දෝණි කිව්වෙ "සතුටක්" කියලා.
ඊට එක හේතුවක් වශයෙන් මට හිතුණෙ
පුතා කායික හා මානසික තල දෙකන්ම
අත් විඳපු සතුට ඔහුට අර
සංගීතයෙන් මතු වුණාට
ඒ අත්දැකීම
සංගීතයෙන් විඳින්න බෑ.
ඒ හින්දා ඔහුට ඒක දුකක්.

දෝණි වින්දෙත් විඳින්නෙත්
චිත්ත රූපයක් නිසා
ඈට ඒ ඇති.

මම ඔවුන්ට ඒ වෙනස කිව්වා.

සිත හොයන දේ කයට නැත් නම්..
කය විඳින දේ සිතට එකඟ නැත්නම්
මිනිසා දුක් විඳිනවා.

කය වර්තමානයෙහි පවතිද්දි
සිත අතීතයෙන් හෝ අනාගතයෙන්
යමක් ඉල්ලනවානම්
චිත්ත රූපයකට වැඩි දෙයක්
ලබා ගන්න බෑ.

ඔහු මවා ගත්ත චිත්ත රූපය විඳින කොට
කය කෑම බීම නැතිව දුක් විඳිනවා.
ප්‍රියයන් වෙන්වුණාම
චිත්ත රූපය මවා ගන්නා තැනැත්තා
කන්නෙ බොන්නෙ නැතුව දුක් විඳිනකොට
කය දුක් විඳිනවා.

ප්‍රියයන් වෙන්වුණාම
චිත්ත රූපය මවා නොගන්නා තැනැත්තා
ඒක මතක නැති කරගන්න
ඕනවට වඩා කමින් බොමින්
කයට දුක් දෙනවා.

දෙන්නටම සැනසිල්ලක් නැහැ.

නාම හා රූප වශයෙන් දෙකකට බෙදිලා
ජීවත් වෙන මිනිසා,
නාම රූප දෙක අතරෙ දෝලනය වෙමින්,
දුක් විඳිනවා.

නාම රූප දෙක එකක් මෙන්
ඒකකයක් මෙන් කටයුතු කරන විදියට
සම්පජානෝ සතිය දියුණු වෙනතුරු
මේ දුක් වලින් මිදෙන්න
එකම ක්‍රමයයි තියෙන්නෙ.
ඒ තමයි හිත දුක් විඳින කොට
ඒ දුක කයෙහිත් දකින එක.

ඒ ටික කර ගන්න බැරුව තමන්
දුකෙන් මිදෙන්න කියලා
යම් සංගීතයක් විඳිනවා නම්
යම් අඳෝනාවක් කරනවා නම්,
මැසිවිල්ලක් නගනවා නම්,
අඬෝවැඩියක් කරනවානම්,
අඬ දබර කරනවා නම්..
දුකෙන් මිදෙන්න කියලා
මොනවාම හෝ කරනවා නම්...
ඒ දේ කරන්නෙ හිතේ තියන දුක නිසා
කියල දකින එකයි.

දුක නිවෙන්න ආරම්භ වෙන්නෙ
දුක දැකීමෙන්.

දුකෙන් පැනල යන්න කරන දෙයින් වෙන්නෙ
දුක දළු ලන එකයි.

මම ආයෙත් අර සංගීතය වාදනය කරලා
පුතාගෙනුත් දෝණිගෙනුත් ඇහුවා,
"දැන් දැනෙන දුක ඉස්සෙල්ලා ගණනමද ?
අඩුද ? නැත්නම් වැඩිද ? කියලා.
දෙන්නම කිව්වා අඩුයි කියලා..

ඇයි ඒ?