20131215

මනෝ පුබ්බංගමා ධම්මා





අපේ පුතාට
පළවෙනි ධම්ම පද ගාථාව
කියල දෙන්න අද මට සිදු වුණා.

දැන් ඒ ගාථාවෙ පළවෙනි පද දෙක
ඔහුත් සමග මමත් තේරුම් ගනිමින් ඉන්නවා.


1, මනෝ පුබ්බංගමා ධම්මා
2, මනෝ සෙට්ඨා මනෝමයා.

https://fbcdn-sphotos-e-a.akamaihd.net/hphotos-ak-ash3/1518284_10201112061830383_1687543927_n.jpg
1, මනෝ පුබ්බංගමා ධම්මා

සියලු ධර්මතාවයන්ට
පූර්වංගමව මනස පවතියි.

ගින්නෙන් වතුර වාෂ්ප වීම
ධර්මතාවයක් විදියට පුතාට කිව්වම
ඔහු ඒ පිළිබඳව හිතට වැදුණට පස්සෙ
ගින්නට වතුර දැම්මම ගින්න නිවෙනවා කියල
ඔහු කියනවා.

සකසන ලද ධර්මතා රැසක ප්‍රතිඵලයක් විදියට
ගෙදරට විදුලිය පැමිණීම තවත් ධර්මතාවයක්.

ගෙදරට එන විද්‍යුත් ශක්තිය
විදුලිබල්බයෙන් ආලෝකය බවට පත්වීමත්
ශීතකරණය තුළින් සිසිලස බවට පත්වීමත්
රූපවාහිනිය තුළින් රූප හා ශබ්දය බවට පත්වීමත්
තවත් පෙළ ගැස්වූ ධර්මතා රැසක ප්‍රතිඵල.

විද්‍යුත් ධර්මතාවයෙන් නිවස තුළ උපදින
ආලෝකය, තාපය, රූප, හඬ ආදී
ධර්මතා සියල්ලට පූර්ව අංගය වශයෙන්
විද්‍යුත් ධර්මතාවය පවතිනවා.

හිරු එළියට හිරු පූර්වාංගමයි.
සම්මුති වශයෙන් නම්
බැලූ බැල්මට පෙනෙන විදියට
හඳ එළියට හඳ  පූර්වාංගමයි.
ඒත් පරමාර්ථ වශයෙන් බලන කොට
හඳ එළියටත් හිරුම පූර්වාංගමයි.

මේ විදියටම
අපි දකින අහන
අප සිත තුළ පහළ වෙන
සියලුම ධර්මතා වලට මනස පූර්වාංගමයි.

සියලුම ධර්මතා වලට පූර්ව අංගය ලෙස
ඒ සියල්ලටම ඉදිරියෙන්
මන නම් වූ ධර්මතාවය පවතිනවා.


2, මනො සෙට්ඨා මනොමයා
මනස්සින් බිහිවෙන
මනසින් නිර්මාණය වෙන
සියලු දේට මනස ශ්‍රේෂ්ඨයි.

විද්‍යුත් ධර්මතාවයෙන් නිවස තුළ උපදින
ආලෝකය, තාපය, රූප, හඬ ආදී
ධර්මතා සියල්ලටම
විද්‍යුත් ධර්මතාවය ශ්‍රේෂ්ඨයි.
විද්‍යුත් ධර්මතාවයෙන් උපදින
ඒ සියල්ලටම විද්‍යුත් ධර්මතාවය
ශ්‍රේෂ්ඨයි...

නිවසක විද්‍යුත් ධර්මතාවය දුර්වල වෙන වෙලාවට
විදුලිමය ධර්මතාත් දුර්වල වෙනවා.
ආලෝකය අඩුයි. උණුසුම අඩුයි. සිසිලස අඩුයි.

විදුලියෙන් උපදින
විදුලිමය වූ සියල්ලටම
විදුලිය ප්‍රධානයි.  විදුලිය ශ්‍රේෂ්ඨයි.

මනසින් උපදින
මනොමය වූ සියල්ලටම
මනස ප්‍රධානයි.
මනස ශ්‍රේෂ්ඨයි.

-----------------------------------------------------------
බුදුන් වහන්සෙ
මේ ගාථාවෙ පළමු පදයෙදි
සියලු ධර්මතා වලට
පූර්ව අංගය ලෙස මනස හැඳින්වුවත්
දෙවෙනි පදයෙදි
ධර්මතා වශයෙන් දකින්නෙ
පොදුවෙ සියලු ධර්මතා නෙමෙයි.

පළමුවැන්නෙ නිවසක විදුලිය
පූර්ව අංගය ලෙස හඳුන්වලා
දෙවැන්නෙදි
විදුලියෙන් උපදින ආලෝකය ආදියට
විදුලිය ප්‍රධානයි... ශ්‍රේෂ්ඨයි.
කියල පෙන්වනවා.

සියලුම ධර්මතා වලට මනස පූර්වාංගමයි.
මනසින් බිහිවෙන ධර්මතා වලදි..
මනෝමය වූ සියලු දේට වඩා
මනස ශ්‍රේෂ්ඨයි.

මූලිකව එකිනෙකට වෙනස්
එකිනෙකට සම්බන්ධ සත්‍යතා දෙකක්
මේ පද දෙකෙන්
බුදුන් වහන්සෙ කියා දෙනවා.

පළවෙනි පදය න්‍යායිකයි.
දෙවෙනි පදය ප්‍රයෝගිකයි.

සියලුම ධර්මතා වලට
මනස පූර්ව අංගය වෙන්නෙ
අන් සියලුම ධර්මතා අපි දන්න දේවල් වෙන්නෙ
මනසට දෙවැනිව අනිත් දේ පවතින නිසයි.

විදුලි උපකරණ වලට විදුලිය පූර්ව අංගයි
කියල කියන සත්‍ය තනිව ක්‍රියාකරනවා.
ඒ සත්‍යය න්‍යායිකයි.
විදුලිය හෝ විදුලි උපකරණ වලින් කෙරෙන දේ ගැන
පළමු පදයෙ කතා කරන්නෙ නැහැ.
පළමු පදය අපි කරන කියන දේට
ඍජුව අදළ වෙන්න නැහැ.

අපි කරන කියන දේට
ඍජුව, ප්‍රායෝගිකව අදාළ වෙන්නෙ
දෙවැනි පදයයි.

මනස මූලිකව නිර්මාණය වෙන
මනොමය දේට මනස ශ්‍රේෂ්ඨයි
කියන ප්‍රායෝගික අවස්ථාව
දෙවැනි පදයෙන් හෙළි කෙරෙනවා.

විදුලි උපකරණ ක්‍රියාත්මක වෙද්දි
ඒ උපකරණ වල ක්‍රියාකාරිත්වයට
විදුලියෙ සහභාගිත්වය මූලිකයි
කියල දෙවනුව කියනවා.

පළමුව
පොදු ධර්මතා සමග සැසඳීමෙදි
මනසත් අනික් ධර්මතාත් අතර පවතින
සබඳතාවය කියනවා.
ඒ ධර්මතාවය මුල්වෙන
සියලු දේට වඩා මනස ශ්‍රේෂ්ඨයි
කියල දෙවැන්නෙදි පැවසෙනව.

1, විදුලි බල්බයට විදුලිය පූර්වාංගමයි.
2, විදුලියෙන් උපදින ආලෝකයට
එහි ප්‍රබලතාවයට, දීප්තියට වඩා
විදුලිය ශ්‍රේෂ්ඨයි.

1, මනෝ පුබ්බංගමා ධම්මා
2, මනො සෙට්ඨා මනොමයා

1, සියලු ධර්මතාවයන්ට මනස පූර්වාංගමයි.
2, මනසින් උපදින සියලු දේට මනස ශ්‍රේෂ්ඨයි.
----------------------------------------------------------------
අවසානය නොවේ.



















20131116

මේ මොහොතෙ අත්විඳින සියලු දේ පිළිබඳව ඔබට සිහිය තියනවද?






තිරිසන් සතා ඉක්මවා
මිනිසා වැඩ කරන්නෙ
මිනිසාගේ ඉන්ද්‍රිය වලට ගෝචර වෙන දේ පිළිබඳව
1,  මිනිසාගේ සිහිය පුලුල් නිසයි
2,  මිනිසාගේ උපේක්ෂාව ප්‍රබල නිසයි.

සිහිය හා උපේක්ෂාව
වීර්යයෙන් පවත්වාගැනීම
තිරිසනාට සහ
බාලයාට කරන්න බැහැ.

සාමාන්‍ය මිනිසාටත්
වීර්යයෙන්  තොරව
සිහිය හා උපේක්ෂාව පවත්වාගැනීම
කරන්න බැහැ.

ඔබේ මනසට සහ පසිඳුරන්ට
විවිධාකාර තොරතුරු ලැබෙමින් තියනවා.
ඔබ දකින තොරතුරු අල්පයි..
බහුතරයක් ඔබ නොදැනුවත්ව
ඔබ තුළ කල් පවතින
වෙනස්කම් ඇති කරනවා.
ඔබේ සිරුර වැය වෙනවා.
මනස වැය වෙනවා.
දිනෙන් දින ඔබේ සිහිය පිර්හෙනවා.
ඔබ කරන වැඩ කටයුතු අඩු කරමින්
සිහිය පවත්වා ගන්නවා.
සිහිනෙන් ඇවිදින්නෙකු මෙන්
ඔබ වයසට යනවා.
කය මිය නොගොස් සිත මිය ගියොත්
ඔබ මිය යන තුරුම
අවසිහියෙන් ජීවත් වෙනවා.

ඔබේ මනසට සහ පසිඳුරන්ට
විවිධාකාර තොරතුරු ලැබෙමින් තියනවා.
සිහිය දියුණු වෙන්නට නම්
ඔබ මේ සියලු දේ පිළිබඳව
සිහියෙන් සිටිය යුතුයි.

මේ මොහොතෙ
ඔබ අත්විඳින සියලු දේ
පිළිබඳව
ප්‍රිය, අප්‍රිය සහ ප්‍රියත් අප්‍රියත් නැති
සියල්ල පිළිබඳව සිහියෙන් සිටිය යුතුයි.
ඒ සඳහා උපේක්ෂාවත් අවශ්‍යයි.
උපේක්ෂාව නැත්නම් සිහිය බිඳෙනවා.

මේ මොහොතෙ
ඔබ අත්විඳින සියලු දේ
පිළිබඳවඔබට සිහිය තියනවද?

නැහැ.

මේ මොහොතෙ අත්විඳින
සියලු දේ අතරෙන්
ඔබ  දකින සීමිත දේටත්
ඔබ තුළ උපේක්ෂාව නැහැ.

මටත් එහෙමයි.

අපි සියලු දෙනාටම
මේ සත්‍යය වෙනසක් නැහැ.

ඔබට සිහිය තියනවා කියල හිතනවාද?
විමසා බලමු.
මීට ටික වෙලාවකට පෙර සිට
ඔබ වෙනස් කළ ඉරියව්
දැන් ඔබට සිහි කළ හැකිද?

ඔබට උපේක්ෂාව තියනවා
කියල ඔබ හිතනවාද?
විමසා බලමු.
ඔබ දැන් ඉන්න ඉරියව්වේම ගැන සිහියෙන්
වෙන කිසිවක් පිළිබඳව නොසිතා
ඉරියව්ව වෙනස් නොකොට
හැකි උපරිම වෙලාව නිසලව ඉන්න..

ඔබේ සිහිය දියුණු නම්
ඔබට ඔබේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය දැනේවි.
යම් යම් ස්ථානවල රුධිර සංසරණයත් දැනේවි.
ඔබට විශාල සැහැල්ලුවක් දැනේවි.

ඔබේ සිහියත් උපේක්ෂාවත්
නොබිඳී පවත්වාගත හැකි කාලය
එපමණයි.
ඔබේ මිනිසත් බව තීරණය වන්නේ
මේ කාලය මතයි..

මේ කාලය අඩුවෙන විට
ඔබ ගමන් කරන්නේ
තිරිසන් සතුන් දෙසටයි.

අපි තිරිසනාට බෙහෙවින්ම සමීපයි.
සමහර වෙලාවට
අපිට තිරිසනා ඉක්මවා යන්නත් පුලුවන්.

එක් එක් පුද්ගලයාගෙ මිනිසත් බව
අන් සියල්ලන්ටම වඩා වෙනස්.
ඔහුගෙ තිරිසන් බවත්
අන් සියල්ලන්ටම වඩා වෙනස්.

ඔබේ මිනිසත් බව කියන්නෙ
මේ මොහොතෙ
ඔබ තුළ දැනෙන සියලු දේ පිළිබඳව
ඔබට ඇති සිහිය සහ
ඔබ සිහියෙන් දකින සියල්ලට
මේ මොහොතෙ
ඔබ තුළ ඇති උපේක්ෂාවයි.

මිනිසා තිරිසන් සතා ඉක්මවා යන්නෙ
ඉන්ද්‍රිය වලට ගෝචර වෙන දේ පිළිබඳව ඇති
1, සිහිය පුලුල් නිසයි
2, උපේක්ෂාව ප්‍රබල නිසයි.

එක් මිනිසෙක්
තවත් මිනිසෙක් ඉක්මවා යන්නෙ
1, ඔහුගෙ තමන් පිළිබඳව ඇති සිහිය
අනික් මිනිසාට වඩා දියුණු නිසායි.
2, සිහියෙන් ඉන්න දේ පිළිබඳව
ඔහු තුළ ඇති උපේක්ෂාව
අනික් මිනිසාට වඩා ප්‍රබල නිසයි.

මිනිසා දුක් විඳින්නෙ
1, ඔහුට තමන් පිළිබඳව
තමන්ගෙ සිත හා කය පිළිබඳව
සිහිය නැති නිසායි....
2, සිහියෙන් ඉන්න දේ පිළිබඳව
ඔහු තුළ උපේක්ෂාව නැති නිසයි.
-----------------------------------------------------------------------

මිනිසා දුකෙන් මිදෙන මග

1, සමස්තයක් විදියට
තමාගෙ කය හා සිත
මේ මොහොතෙ අත් විඳින සියල්ල පිළිබඳව
සිහිය පිහිටුවා ගැනීම

2, මේ මොහොතෙ සිහියෙන් දකින සියල්ලටම
උපරිම උපේක්ෂාවෙන් විසීම.

කවදා හෝ
ඔබ විඳින දුක් වලින්
යම් නිදහසක් ලබන්නට නම්
ඔබත් මේ සත්‍යය ඔබම
වටහාගත යුතුයි.

බුදු දහමෙ පදනමත්
බුදු දහමෙ හරයත්
සිහිය සහ උපේක්ෂාවයි.

බුදු දහමෙ මූලිකම කාර්යය
1, එක් මොහොතක් තුළ දැනෙන සියලු දේ පිළිබඳව
මොහොතින් මොහොතට ඇති සිහිය පිහිටුවීමට
2, එක් මොහොතක් තුළ දැනෙන සියලු දේ පිළිබඳව
ඔබට ඇති උපේක්ෂාව තියුණු කරගැනීමට
ඔබට මග පෙන්වීමයි.

ඔබ ලබන දියුණුව
සම්පූර්ණයෙන්ම රඳා පවතින්නෙ
ඔබ ඒ මග ගමන් කිරීම මතයි.

ඒ මග තවත් කෙනෙක් හරහා වැටී නැහැ.
ඔබ තනිවම ඒ මග යා යුතුයි.

බුදුන් වහන්සේට අනුව...

1, සත්වයාගේ විශුද්ධියට,
2, සෝක පරිදේව සමතයට හා ඉක්මවීමට.
3, දුක් දොම්නස් අස්තංගත වීමට
4, ප්‍රඥාව ඉහළ යාමට
5, නිවන සාක්ශාත් කිරීමට
“එකම මාර්ගය” සතර සතිපට්ඨානයයි.

කවර වූ සතරෙක්ද?
1, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,

2, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[කයෙහි වෙනස් වීම්]
වේදනා වල වේදනා අනුව දකිමින් වෙසෙයි,

3, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
සිතෙහි සිත අනුව දකිමින් වෙසෙයි,

4, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[සිතෙහි වෙනස්වීම්]
දහම්හි දහම් අනුව දකිමින් වෙසෙයි,
------------------------------------------------------------
දැන්....
මා කියූ සියල්ල අමතක කරන්න.

ඔබ බුදුන් වහන්සේ සමග එකඟද.?

නැහැ.

ඔබට බුදුන්වහන්සේ කී දේ වැටහුණේ නැහැ.

20130907

අලුත් කෑමක් රස බලන්නාක් මෙන් ද්වේශය අත් විඳින්න.


   

    ඔබ ඔබේ ද්වේශය අත්විඳ තිබේද?

    ද්වේශයෙන් දුක් විඳීමත්,
    ද්වේශයෙන් සිතීමත්,
    ද්වේශයෙන් ක්‍රියා කිරීමත්,
    ද්වේශයෙන් පැනයාමත් හැරෙන්නට
    ජීවිතයේ එකම වරක් හෝ
    ඔබ ඔබේ ද්වේශය අත්විඳ තිබේද?

    ඔබ ඔබේ ද්වේශය පිළිබඳව සිහියෙන්
    කෑමක් රස බලන්නාක් මෙන්
    ද්වේශය අත්විඳ තිබේද?

    මීළඟට ඔබට තරහ ආවිට
    හැකි ඉක්මණින් පරීක්ෂණය අරඹන්න.

    ශාරීරිකව ද්වේශයෙන් කරන ක්‍රියා
    තීරණාත්මකව අත් හිටුවන්න.

    ඔබ දමනය කරගන්න.

    ඔබේ යටතේ ඉන්නා නොදරුවෙකුට මෙන්
    ද්වේශයෙන් දැවෙන සිතට සලකන්න.

    ශාරීරිකව ද්වේශයෙන් කරන ක්‍රියා
    තීරණාත්මකව අත් හිටුවීමෙන් පසු
    ද්වේශයෙන් කියන වචන නවත්වන්න.

    ද්වේශයෙන් සිතන සිතුවිලිත්
    දැඩි අධිශ්ඨානයෙන් අත් හිටුවන්න.

    දැන් ඔබ ද්වේශයෙන් කරන
    කායික හා මානසික නතර වී ඇත.

    ඒ මොහොතේ
    ඔබට හැඟෙන්නේ ද්වේශයයි.
    ඔබ අත් විඳින්නේ ද්වේශයයි.

    මෙ ඔබේ ද්වේශයයි.

    ද්වේශය විසින්
    ඔබේ සිරුර පුරා ඇති කරන
    වෙනස් වීම් විඳින්න.

    ඔබේ ආශ්වාස ප්‍රශ්වාසය
    වෙනස් වී ඇති ආකාරය බලන්න.

    ද්වේශ සහගත
    කායික ක්‍රියා නතර කළ විට
    ද්වේශ සහගත මානසික ක්‍රියා,
    එනම්
    ද්වේශ සහගත සිතිවිලි ඇති වෙයි.

    ඔබේ ආත්ම දමනයේ ප්‍රබලතාවය අනුව
    ද්වේශ සහගත සිතිවිලිත්
    නතර කරගත හැක.

    එසේ නතර කරගන්නා සිතට
    වෙනත් අතක පැනයන්නට
    අවකාශ නොදෙන්න.

    ද්වේශ සහගත සිතිවිලි නතර වූ විට
    ඔබ අත් විඳින්නේ
    ද්වේශ සහගත හැඟීම්ය.

    ද්වේශ සහගත හැඟීම
    ඔබට දැනෙන්නේ
    කායික සංවේදනා විදියටයි.

    ද්වේශය නිසා
    මුලු සිරුර පුරාම දැනෙන
    වෙනස්වීම් සිතින් දකින්න.

    අත්දැකීමක් විදියට විඳින්න.

    ඔබට ඔබ අමතක කරවන,
    ඔබ තිරිසනෙකු මෙන්
    අවසිහියෙන් ක්‍රියා කිරීමට පොළඹවන
    ඇස් නැති ද්වේශය අත් විඳින්න.

    මේ ඔබේ ද්වේශයයි.
    මෙතෙක් වහලෙකු මෙන්
    ඔබ පාලනය කළ
    ද්වේශයයි.

    දැන්
    ද්වේශයට ද්වේශ නොකර
    ද්වේශයට උපේක්ෂාවෙන්
    ද්වේශය ගැන සිහියෙන් ඉන්න.

    ද්වේශයෙන්
    ඔබ වෙනස් වී ඇති අයුරු දකින්න.

    ද්වෙශය වෙනස් වෙන අයුරු දකින්න.

    මේ ද්වේශය
    ඔබට පාලනයක් නැත.

    ද්වේශය ඔබේ පාලනයෙන් තොරව ඇති වෙයි.

    ද්වේශයෙන් දුක් විඳීමත්,
    ද්වේශයෙන් සිතීමත්,
    ද්වේශයෙන් ක්‍රියා කිරීමත්,
    ද්වේශයෙන් පැනයාමත් හැර
    මෙතෙක් ඔබ අන් කිසිවක් කර නැත

    ඔබට අපහසුම දේ ආත්ම දමනයයි.

    පළමු උත්සාහයේදීම
    ඔබට එය වැටහෙනු ඇත.

    දැඩි අධිශ්ඨානයෙන් වෑයම් කරන්න.
    ආත්ම දමනය අපහසු වුවද
    කළ නොහැකි දෙයක් නොවෙයි.

    සමාජය ඉදිරියේ,
    පවුල ඉදිරියේ
    ආත්ම දමනයෙන් ක්‍රියා කිරීම
    ඔබට නුහුරු දෙයක් නොවේ.

    දැන් ඔබ කළ යුතු
    ඔබ ඉදිරියේ,
    ඔබ නතර කර ගැනීම පමණයි.

    ඔබ ද්වේශය නතර කරගත යුතු නැත.

    ද්වේශය නතර කළ නොහැක.

    ද්වේශයෙන් කරන කායික ක්‍රියා
    ඉද්ද ගැසුවාක් මෙන්
    එක්වනම නතර කරගන්න

    ද්වේශයෙන් කරන කායික ක්‍රියා
    ඉද්ද ගැසුවාක් මෙන්
    එක්වනම නතර කරගන්නට
    ඔබට හැකි නම් ඔබ මිනිසෙකි.
    දක්ෂ මිනිසෙකි.

    ද්වේශයෙන් කරන මානසික ක්‍රියා
    එක්වනම නතර කරගන්නට
    ඔබට හැකි නම් ඔබ උතුම් මිනිසෙකි.
    අති දක්ෂ මිනිසෙකි.

    ද්වේශයෙන් කරන
    කායික-මානසික ක්‍රියා දෙකම
    එක්වනම නතර කරගෙන
    කයත් මනසත් දූෂණය කරන
    ද්වේශය අත් විඳින්නට
    ඒ ද්වේශය ගැන සිහියෙන්
    ද්වේශයට උපෙක්ෂාවෙන් සිටින්නට
    ඔබට හැකි නම් ඔබ අති උතුම් මිනිසෙකි.
    උත්තර මානුෂික මිනිසෙකි.

    පුහුණු  වෙන්නට අධිශ්ඨාන කරගන්න.
    දැඩි අධිෂ්ඨානයෙන් පුහුණු වෙන්න.

20130203

සරල විදසුන 01





අපි ජීවත් වෙන්නෙ
අපේ කයත් සිතත්
ක්‍රියා කරන තුරු විතරයි.

කයත් සිතත් ක්‍රියා කිරීම නැවතුණාම
අපි මැරෙනවා.

 කල්ගත වෙලා
අපි වයසට ගිහින්
අපේ සිතත් කයත් හොඳටම පරණ වුණාම
අපි මැරෙනවා.

ලෙඩක් හැදිලා සුව නොවුණොත්
අපි මැරෙනවා.

වාහනයක හැපුණොත්, වතුරෙ ගිලුණොත්
අපි මැරෙනවා.

කෑම නැතුව, වතුර නැතුව
ගොඩක් දවස් හිටියොත් මැරෙනවා.

කවුරු හරි පිහියකින්, කැත්තකින් අපිව කපලා,
අපිට වෙඩි තියලා
ගොඩාක් ලේ ගියොත් අපි මැරෙනවා.

කවුරු හරි අපේ හුස්ම හිරවෙන තුරු
බෙල්ල මිරිකගෙන හිටියොත් මැරෙනවා.

කාලයක් තිස්සෙ මත්පැන් බිව්වොත්
අක්මාව දියවෙලා මැරෙනවා.
වස විස කැවුණොත් මැරෙනවා.
හෘදය වස්තුව දුර්වල වෙලා නැවතුණොත් මැරෙනවා.

සුව නොවෙන පිළිකාවක් හැදුණොත් මැරෙනවා.

සුනාමියක්, භූමි කම්පාවක් ඇවිත් මැරෙන්න පුලුවන්.

ලොකු උසකින් වැටුණොත් මැරෙනවා.

ගින්නකට අහු වුණොත් පිළිස්සිලා මැරෙනවා.

කෙනෙක් මැරෙන්නෙ කයට සිදු වෙන දෙයින්.
ඒත් කලාතුරකින්, දුර්වල හෘදය වස්තුවක් තියන කෙනෙකුඅට
ලොකු දුකක්, තරහක්, බයක්, සතුටක් හිතට ආවිත්
හෘදය වස්තුව නැවතිලා මැරෙන වෙලාවල් තියනවා.

කොයි වෙලාවෙ උණත් ජීවිතය
මරණයෙන් කෙළවර වෙන්න පුලුවන්.

මරණයට පත් නොවී, ලෙඩරෝග හැදෙන්නෙ නැතුව,
ලෙඩරෝග හැදුණොත් සුව කර ගනිමින්,
අනතුරු නොවෙන්න රැකගනිමින්
ස්වාභාවිකව මැරෙන තුරු ජීවිතය පවත්වා ගැනීම
අපේ ස්වාභාවික වගකීමක් සහ කැමැත්තක්.

කය මරණයෙන් ආරක්ෂා කරගන්න
කයෙහි ක්‍රියාකාරිත්වයට අවශ්‍ය පෝෂණය ලබා දෙන්න
ඒ සඳහා අවශ්‍ය තැන් සොයාගන්න හිත අපිට උපකාර වෙනව.

අපේ ජීවිතය ආරක්ෂාකරගන්න
අපි තුලත් අප අවටත් සිදුවෙන
ලොකු කුඩා වෙනස්කම්
හිතට දැනෙන්න ඕන.
හිතට මුලු කයම දැනෙනවා.
ඒත් හිත වැඩියෙන්ම ක්‍රියාත්මක වෙන්නෙ
මොළය මගිනුයි.

අවට පරිසරයෙ සීතල වැඩි වෙනකොට
ඒ අනුව කය වෙනස් වෙනවා.
ඒ වෙනස ස්නායු වල සිදුවෙන වෙනස් කම් මගින්
මොළයට දැනෙනවා.
සීතල නිසා ස්නායු වල සිදුවෙන වෙනස
කයෙහි ඇතිවෙන වේදනාවක් විදියට
හිත හඳුනාගන්නවා.
ඒ වේදනාවට අපි සීතල කියලා කියනවා.
අව්වෙ ඉන්නකොට දැනෙන වේදනාවට
අපි කියන්නෙ උණුසුම කියල.
ඒ හඳුනා ගැනීමට අනුව
මොළය ක්‍රියා කරලා
කයෙහි උණුසුම අඩු වැඩි කරමින්
ශරීරයෙ උශ්ණත්වය
නිශ්‍චිත අංශකයක
පවත්වාගන්නවා.

අවට පරිසරය හඳුනා ගන්නත්
ඒ පරිසරය තුළ ආරක්ෂාවෙලා ඉන්නත්
අවශ්‍ය දේ සපයා ගන්නත්
අපට ආධාර වෙන
තවත් අංග කිහිපයක් තියනවා.

ඇසට රූපයක් වැටුණාම
ඇසේ ඇඳෙන රූපයෙන් ඇතිකරන
විවිධ වේදනා ඇසුරෙන්
අපි රූප දකිනවා, රූපවල වර්ණ දකිනවා,
හැඩතල, ප්‍රමාණය දැන ගන්නවා.

කණට ඇතුල්වෙන ශබ්දයෙන් ඇතිවෙන වේදනාවට
අපි කියන්නෙ ඇහෙනවා කියලා.
ශබ්දයේ තියුණු බව, තාලය, රිද්මය
ඒ වේදනාව ඇසුරෙන් අපිට දැනෙනවා.
ඒ ශබ්දය මගින් හඳුන්වන බව
අපි දන්න යමක් තියනවා නම්
ශබ්දය ඇසුරෙන් අපි ඒ දේ ත් හිතාගන්නවා.

නාසයට දැනෙන සුවඳ
අපිට තොරතුරු ලබාදෙන තවත් වේදනාවක්.

කයෙහි ක්‍රියාකාරිත්වයත්, පෝෂනයත්, පැවැත්මත්
බොහෝ දුරට රඳා පවතින්නෙ
දිවට දැනෙන වේදනා හඳුනා ගැනීම මතයි.
දිවෙහි සිදු වෙන වෙනස් කම් නිසා
දිවේ ඇතිවෙන වේදනා ඇසුරෙන්
අපි රස, උෂ්ණත්වය, දළ-මුදු බව, ඝන-ද්‍රව වෙනස
ආදිය මගින් ආහාර හඳුනා ගන්නවා.
මේ ක්‍රියාවට ඇසෙත් නාසයෙත්
සමහර විට කණෙත්
ඇතිවෙන වේදනා ආධාර වෙනවා.

මෙතෙක් ගතකළ ජීවිතය තුළ
සිදු වූ දේවල් වල මතක සටහන්
අපි තුළ තැන්පත් වෙලා තියනව.
කයෙන් බැහැර හෝ
කය තුළ සිදුවෙන වෙනස්කම් නිසා
ඒ මතක සටහන් කැලැත්තිලා
ස්නායු සහ මොළය ක්‍රියාකාරී වෙලා
කයෙහි ඇතිවෙන වෙදනා නිසා
හැඟීම් සහ සිතුවිලි ඇතිවෙනවා.

අපි ජීවිතය ගත කරද්දි
අපිට ඒ සඳහා ආධාර වෙන
උපාංග හතරක් අපි දන්නවා.

1, කය
2, වේදනා [ කයෙහි වෙන වෙනස්වීම් ]
3, සිත
4, හැඟීම් හා සිතුවිලි [ සිතෙහි වෙන වෙනස්වීම් ]

මේ හතරට පිටින් සිදුවෙන කිසිම දෙයක්
අපට දැනෙන අපි විඳින ජීවිතය තුළ නැහැ.

මේ අංග හතර වැරදි විදියට හානිකර විදියට
භාවිතා වෙන විදියත් එහෙම වෙන්න හේතුත්
අනික් දවසෙ බලමු.

සරල විදසුන ගැන...






විදර්ශනාව ඇතුළත් වෙන
සතර සතිපට්ඨානය
බුදු දහම තුළ තියන අගනාම අංගයයි.

ආශ්වාස ප්‍රශ්වාසය, ඉරියව්ව වගේ
ඉතාම සරල තලයෙහි සිට
චතුරාර්ය සත්‍යය දක්වා
සිහිය දියුණු කරන්නට
කයත් නිර්වාණයත් අතර
සම්පූර්ණ ගමන්මග,
නිවනට ඇති
එකායන මාර්ගය ලෙස නම් කරමින්
බුදුන් වහන්සේ දේශනා කළේ
මහා සතිපට්ඨාන සූත්‍රය මගින්.

අපි සිහිය පිහිටුවා ගතයුතු
අංග හතර පිළිබඳ
සරල හැඳින්වීමක් .....

සරල විදසුන 01


20130117

මිථ්‍යා දෘෂ්ඨි වලට අහුවුණොත් ගැලවීමක් නැහැ.

 


අපි ජීවත් වෙද්දි
අපි ගතකරන ජීවිතයෙන්
වැඩි ප්‍රමාණයක්
අපි ගත කරන්නෙ දෘශ්ඨි සමගයි.

දෘෂ්ඨියක් කියන්නෙ දර්ශනයක්.
ඇත්තටම තියන දෙයක් හෝ
ඇත්තටම නැති දෙයක්
තියන දෙයක් මෙන් මැවී පෙනීමයි.

ප්‍රධාන දෘෂ්ඨි වර්ග
දෙකක් තියනවා.

තියන දෙයක් පිළිබඳව
තියනවා කියල ඇතිවෙන දෘෂ්ඨිය
දෘෂ්ඨියක්.
ඒත් ඇත්ත පදනම් වුණ දෘෂ්ඨියක්.

නැති දෙයක් පිළිබඳව
තියනවා කියල ඇතිවෙන දෘෂ්ඨිය
මිථ්‍යා දෘෂ්ඨියක්.
ඒ දෘෂ්ඨිය
බොරුව පදනම් වුණ දෘෂ්ඨියක්.

මගේ අවුරුදු හයේ පුතාට
දෘෂ්ඨි ගැන කියද්දි
පෙන්නුව උදාහරණය ඇසුරෙන්
සලකා බලමු.
--------------------------------------------------------















අපේ ගෙදර උඩ තට්ටුවෙ
වතුර ටැංකියක් තියනවා කියල
මම ඔයාට කියනවා.



ඔයා කැමති
මාළු ටැංකි වලට විතරයි.
ඔයා දැකලා තියෙන
මාළු ටැංකියක් ඔයා හිතේ
මවා ගන්නවා.
ඔයාට ඒකෙ මාලුවෙක් ඉන්න විදිය
මැවිල පේනවා..






වතුර ටැංකියක් තියන බව ඇත්ත.
ඒත් ඒකෙ මාලුවෙක් නෑ.

මම කියන්නෙ බොරු කියල
ඔයා හිතුවොත් ඒක
දෘෂ්ඨියක්.

මම කියන්නෙ ඇත්ත කියල
ඔයා හිතුවොත් ඒකත්
දෘෂ්ඨියක්.



මම කියන ටැංකියවත්
ඔයා හිතේ මවාගත්ත මාළු ටැංකියවත්
ඔයාට ඇත්තටම පෙනෙන්නෙ නැහැ.

ඔයා ඔයාගෙ හිතේ
ලස්සණ මාලුවෙක්
ලස්සණ වීදුරු ටැංකියක්
මවා ගන්නවා.

ඔයා දන්න හැමකෙනෙකුටම
අර ලස්සණ මාළු ටැංකිය
ගැන කියනවා.

සමහරු පිළිගන්නවා.
සමහරු පිළිගන්නෙ නෑ.

"ආ ඇත්තද?..
ෂා නියමයි" කියලා
ඔයාගෙ දෘෂ්ඨිය
ඉස් මුදුනෙන් පිළිගන්න අයට
ඔයා හරි කැමතියි.

"අනේ බොරු කියන්න එපා" කියල
ඔයාගෙ දෘෂ්ඨිය නොපිළිගන්න අය
ඔයාට පෙන්නන්න බැහැ.

ඔයා අනුන්ගෙ කතා මත
යැපෙන්නෙ නැති
නිදහස්ව හිතන කෙනෙක් නම්
දවසක ඔයාටම හිතෙනවා,
විමසලා බලන්න ඕනෙ කියල.

ඔයා පාර අහගෙන
පඩිපෙළ නැගලා ගිහින් බලනවා.

ඔයාට ඇත්ත
ඇති විදියට පෙනෙනවා.

ටැංකියක් තියනවා.
ඒත් ඒක මාළු ටැංකියක් නෙමෙයි.
තමන්ම ගිහින් බැලුවාම
ඔයාට ඇත්ත තේරෙනවා.

ඔයාගෙ මාන්නය බිඳෙනවා.

ඒක දරාගන්න ඔයාට පුලුවන් නම්
ඔයාගෙ වෙනසක් වෙනවා.
ඉන් පස්සෙ ඔයා කවුරුවත් කියන
දෙයක් විශ්වාස කරන්නෙ නෑ.
අවිශ්වාස කරන්නෙත් නෑ
සොයලා බලනවා.

එදාට ඒ පෙනෙන ඇත්ත පිළි නොගෙන
ඔයාගෙ දෘෂ්ඨියෙම එල්ලිලා ඉන්නත්
ඔයාට පුලුවන්.

"නෑ නෑ.. වෙන්න බෑ.
මෙතන තියෙන්න ඇත්තෙ
මාලු ටැංකියක්ම තමයි.
කවුරු හරි ඒක මාරු කරලා..
මම ගියාට පස්සෙ
ආයෙ ගෙනත් තියාවි."

ඊළඟ දවසෙ ඔයා ගිහින්
මාලු ටැංකිය ගැන
අලුත් දහමක් කියාවි.
"ඔබ ගිහින් බලන කොට
එතන මාළු ටැංකියක් නොතිබුණොත්
හිත අධෛර්‍ය කර ගන්න එපා.
කවදා හරි
මාළු ටැංකිය දකින තුරුම
සොයන්න."

මිථ්‍යා දෘෂ්ඨිය තරම්
හානිකර දෙයක් තවත් නැහැ.

බුදුන් වහන්සෙගෙ දහම වුණත්
අහද්දි හිතේ මැවෙන
මිථ්‍යා දෘෂ්ඨි වලට අහුවුණොත්
ගැලවීමක් නැහැ.

බුදු දහම කියන්නෙ
කවුරුවත් කියන දෙයක් අහගෙන ඉඳලා
හිතේ මවා ගන්න රූප ඇසුරෙන්
දකින්න පුලුවන් දෙයක් නෙමෙයි.

තමන් දිහා
සිහියෙන් හා උපේක්ෂාවෙන්
තමන්ම බලා ඉඳල
තමා තුලින්ම
තේරුම් ගතයුතු දහමක්.,

තමන් දිහාබලා ඉන්න විදිය
බුදුන් වහන්සේගෙන්
අසා දැන ගත යුතුයි.

මහා සතිපට්ඨාන සූත්‍රයෙ
ඒ ක්‍රමය සරලව, පිළිවෙලින්
විස්තර කරල තියනවා.

ශ්‍රද්ධාව තියන කෙනෙකුට
වීරය වැඩුවොත්,
සතියත් සමාධියත් වඩා
ප්‍රඥාව දියුණු කරගන්න පුලුවන්.

====================================================


බුදු දහමට අදාළව
-------------------------------------
1, දෘෂ්ඨියක් යනු කුමක්ද.
නැති දෙයක් ඇති ලෙස ඇදහීම..
නැති දෙයක් නැති ලෙස ඇදහීම..
ඇති දෙයක් ඇති ලෙස ඇදහීම..
ඇති දෙයක් නැති ලෙස ඇදහීම..
------------------------------------

2, සම්‍යක් දෘෂ්ඨිය කුමක්ද?
දුක ඇදහීම..
දුකට හේතුව ඇදහීම.
දුක නැති කිරීම ඇදහීම.
දුක නැති කිරීමේ මාර්ගය ඇදහීම.
------------------------------------

3, මිථ්‍යා දෘෂ්ඨිය කුමක්ද?
දුක නැති දෙයක් ලෙස ඇදහීම..
සැප ඇති දෙයක් ලෙස ඇදහීම..
------------------------------------

4, මේ දෙකට අයත් නොවන දැක්ම කුමක්ද?
දුක සැප වශයෙන් 
වෙන් වෙන්ව නොවිඳ
සමස්තයක් ලෙස
මේ මොහොතේ ඇති දේ 
ඇති සැටියෙන් දැකීම..


1, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
කයෙහි කය අනුව දකිමින් විසීම,

2, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[කයෙහි වෙනස් වීම්]
වේද්නා වල වේදනා අනුව දකිමින් විසීම,

3, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
සිතෙහි සිත අනුව දකිමින් විසීම,

4, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[සිතෙහි වෙනස්වීම්]
දහම්හි දහම් අනුව දකිමින් විසීම,
බුදු දහමට අදාළව
-------------------------------------
1, දෘෂ්ඨියක් යනු කුමක්ද.
නැති දෙයක් ඇති ලෙස ඇදහීම..
නැති දෙයක් නැති ලෙස ඇදහීම..
ඇති දෙයක් ඇති ලෙස ඇදහීම..
ඇති දෙයක් නැති ලෙස ඇදහීම..
------------------------------------

2, සම්‍යක් දෘෂ්ඨිය කුමක්ද?
දුක ඇදහීම..
දුකට හේතුව ඇදහීම.
දුක නැති කිරීම ඇදහීම.
දුක නැති කිරීමේ මාර්ගය ඇදහීම.
------------------------------------

3, මිථ්‍යා දෘෂ්ඨිය කුමක්ද?
දුක නැති දෙයක් ලෙස ඇදහීම..
සැප ඇති දෙයක් ලෙස ඇදහීම..
------------------------------------

4, මේ දෙකට අයත් නොවන දැක්ම කුමක්ද?

දුක සැප වශයෙන්
වෙන් වෙන්ව නොවිඳ
සමස්තයක් ලෙස
මේ මොහොතේ ඇති දේ
ඇති සැටියෙන් දැකීම..


1, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
කයෙහි කය අනුව දකිමින් විසීම,

2, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[කයෙහි වෙනස් වීම්]
වේද්නා වල වේදනා අනුව දකිමින් විසීම,

3, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
සිතෙහි සිත අනුව දකිමින් විසීම,

4, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[සිතෙහි වෙනස්වීම්]
දහම්හි දහම් අනුව දකිමින් විසීම,